රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකාවේ සියැටල් (Seattle) නුවරදී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවක වූ ජාහ්නවි කන්දුලාගේ මරණය වෙනුවෙන් ඩොලර් මිලියන 29ක (රුපියල් කෝටි 870කට අධික) දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට නගර බලධාරීන් එකඟ වී ඇත.
පියවි ඇසට මෙය විශාල මූල්‍යමය ජයග්‍රහණයක් සේ පෙනුනද, මෙම සිදුවීම පිටුපස සැඟවී ඇත්තේ හුදු රිය අනතුරක් පිළිබඳ කතාවක් නොවේ. එය බලය, වගකීම් විරහිතභාවය සහ මිනිස් ජීවිතයක වටිනාකම “සීමිත” බවට ලඝු කරන පද්ධතිමය අසාධාරණය පිළිබඳ බරපතල හෙළිදරව්වකි.
මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය අගයන ඕනෑම අයෙකුගේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන මෙම පුවත, බල ව්‍යුහයන් තුළ මානුෂීයත්වය මියගොස් ඇති ආකාරය පිළිබඳ කදිම සාක්ෂියකි.
අධික වේගය සහ නීතියේ ක්‍රියාකාරිත්වය
2023 වසරේදී ජාහ්නවිගේ මරණය සිදු වූයේ අතිශය භයානක තත්ත්වයක් යටතේය. උපරිම වේගය පැයට සැතපුම් 25කට සීමා කර තිබූ පදිකයන් බහුල කලාපයක, නිලධාරී කෙවින් ඩේව් (Kevin Dave) සිය පොලිස් රථය පදවා තිබුණේ පැයට සැතපුම් 74ක අධික වේගයකිනි. ඔහු මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් (Drug overdose) සම්බන්ධ පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් සිටි බව පැවසුණ ද, එවැනි හදිසි අවස්ථාවක් සිවිල් වැසියෙකුගේ ජීවිතය බිලිගැනීමට සාධාරණීකරණයක් නොවේ.
මෙම සිදුවීමේ ඇති වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයයි. මෙතරම් අධික වේගයකින් රිය පදවා මරණයක් සිදු කළ ද, කෙවින් ඩේව්ට එරෙහිව බරපතල අපරාධ චෝදනා (Felony charges) ගොනු නොකිරීමට නඩු පවරන්නන් තීරණය කළහ. ආරක්ෂාව පිළිබඳ හිතාමතාම නොසලකා හැරීමක් කළ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් නීතියේ සිදුරුවලින් ඔහු රිංගා යෑමට ඉඩ සලසා දෙන ලදී. අවසානයේදී ඔහුට හිමි වූයේ “නොසැලකිලිමත් ලෙස රිය පැදවීමේ” චෝදනාව සහ ඩොලර් 5,000ක සොච්චම් දඩයක් පමණි. මෙය යුක්තිය පසඳලීමේ පද්ධතියේ ඇති පක්ෂපාතීත්වය මැනවින් නිරූපණය කරන්නකි.
මෙම ඛේදවාචකය ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ අනතුර නිසාම නොවේ, අනතුරෙන් පසු පොලිස් නිලධාරීන් දැක්වූ අශිෂ්ට ප්‍රතිචාරය නිසාය. සියැටල් පොලිස් දෙපාර්තමේන්තුවේ ඩැනියෙල් ඕඩරර් (Daniel Auderer) නම් නිලධාරියාගේ ශරීර කැමරාවේ (Body cam) සටහන් වූ දර්ශන ලොවම කම්පනයට පත් කළේය. ඔහු ජාහ්නවිගේ මරණය ගැන සමච්චලයෙන් සිනාසෙමින්, ඇගේ ජීවිතයට ඇත්තේ “සීමිත වටිනාකමක්” බවත්, නගරය විසින් “චෙක්පතක් ලියා දිය යුතු” බවත් පවසනු අසන්නට ලැබුණු විදෙස් මාධ්‍ය වාර්තා කළාය.
මියයන විට ජාහ්නවිගේ වයස අවුරුදු 23ක් වුවද, ඇගේ ජීවිතය පිළිබඳ කිසිදු තැකීමක් නොකළ මෙම නිලධාරියා ඇයට වයස අවුරුදු 26ක් බව පවසමින් ඇගේ අනන්‍යතාවය පවා නිසි ලෙස තක්සේරු කිරීමට අපොහොසත් විය.
ඩැනියෙල් ඕඩරර් යනු හුදු සාමාන්‍ය නිලධාරියෙකු පමණක් නොව, පොලිස් වෘත්තීය සමිති නායකයෙකු (Union leader) ද වීම මෙම සිදුවීමේ ඇති බරපතලකම වැඩිකරයි. පද්ධතියක් ආරක්ෂා කිරීමට බැඳී සිටින නායකයෙකු තුළ මෙවැනි අමානුෂීය ආකල්ප පැවතීමෙන් පෙනී යන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ මුල් බැසගත් සංස්කෘතික පිරිහීමයි. නගරයේ සිවිල් නිරීක්ෂණ ආයතනය (Civilian watchdog) පෙන්වා දුන්නේ මෙම ප්‍රකාශය මගින් මුළු මහත් පොලිස් සේවයේම මහජන විශ්වාසය පළුදු වූ බවයි.
ඉන්දීය තානාපති අංශවල දැඩි මැදිහත්වීම සහ මහජන විරෝධය හමුවේ කෙවින් ඩේව් සහ ඩැනියෙල් ඕඩරර් යන දෙදෙනාම පසුව සේවයෙන් නෙරපා හරින ලදී. කෙසේ වෙතත්, තමා කළ අශිෂ්ට ප්‍රකාශය උපහාසාත්මක විවේචනයක් බව පවසමින් ඕඩරර් තවමත් නගරයට එරෙහිව නඩු පවරා ඇත්තේ තම රැකියාව යළි ලබා ගැනීමටය. මෙය වැරදි කළවුන්ට පද්ධතිය තුළ ඇති ආරක්ෂාව පිළිබඳ තවත් එක් නිදසුනකි.
මුදලට ජීවිතයක් හිලව් කළ හැකිද?
එකඟ වූ ඩොලර් මිලියන 29ක වන්දි මුදලෙන් මිලියන 20ක්ම රක්ෂණ සමාගම් හරහා පියවීමට නියමිතය. නගරයේ නීතිඥ එරිකා එවන්ස් (Erika Evans) පවසා සිටියේ ජාහ්නවිගේ ජීවිතය ඇගේ පවුලට සහ ප්‍රජාවට ඉතා වටිනා එකක් වූ බවයි. ඕඩරර් වැනි නිලධාරීන්ගේ “වෙස්මුහුණ ගැලවුණු” පසු, නගර පාලනය මෙවැනි ප්‍රකාශ හරහා හානිය කළමනාකරණය කිරීමට උත්සාහ කරන බව පෙනේ යනුවෙනි.
ජාහ්නවි කන්දුලා යනු නෝර්ත්ඊස්ටර්න් විශ්ව විද්‍යාලයේ (Northeastern University) තොරතුරු පද්ධති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින්, තම අනාගතය පිළිබඳ දහසක් බලාපොරොත්තු තබාගෙන සිටි දක්ෂ තරුණියකි. ඩොලර් මිලියන ගණනක වන්දි චෙක්පතක් මගින් ඇගේ පවුලට මූල්‍යමය සහනයක් ලැබිය හැකි වුවද, “සීමිත වටිනාකමක්” ලෙස හංවඩු ගැසූ ඒ මානුෂීය වටිනාකම නැවත ලබා දීමට කිසිදු මුදල් ප්‍රමාණයකට නොහැක.
ජාහ්නවි කන්දුලාගේ ඛේදවාචකය අපට පසක් කර දෙන්නේ තාක්ෂණික දියුණුව හෝ නීති පොත්වල ඇති වගන්තිවලින් පමණක් යුක්තිය ඉටු නොවන බවයි. බලය අතැති පුද්ගලයන් තුළ වගවීම සහ මූලික මානුෂීය ගරුත්වය නොමැති තාක් කල්, ඕනෑම ජීවිතයක් “සීමිත වටිනාකමක්” ඇති භාණ්ඩයක් බවට පත්වීමේ අවදානම පවතී.
තාක්ෂණය සහ නීතිය කොතරම් දියුණු වුවත්, බලය අතැති පුද්ගලයන්ගේ ආකල්ප වෙනස් නොවන තාක් කල් සාධාරණය ඉටු වේද?


