ගුරු හිඟයට කඩිනම් විසඳුම්…

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා මෙම වසර තුළ උපාධිධාරීන් 23,000කට අධික පිරිසක් සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර ඇත.

විවෘත හා සීමිත විභාග මගින් සිදුකරන මෙම බඳවා ගැනීම් හරහා පාසල්වල පවතින ගුරු මාරුවීම් ගැටලු සඳහා ද විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, මෙරට නව අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා වන වාර්තාවක් උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට මාසයක කාලයක් ලබා දී තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව හා භෞතික සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇත. මෙම සියලු කරුණු සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.