Home ව්‍යාපාරික තුල්හිරිය MAS කර්මාන්ත ශාලාවේ ඇඟලුම් නිෂ්පාදනය නැවැත්වීම ගැන කරුණු පැහැදිලි කිරීමක්

තුල්හිරිය MAS කර්මාන්ත ශාලාවේ ඇඟලුම් නිෂ්පාදනය නැවැත්වීම ගැන කරුණු පැහැදිලි කිරීමක්

0
4

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන MAS Holdings සිය තුල්හිරියේ පිහිටි MAS මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබේ.

මේ බව MAS කළමනාකරණය විසින් පසුගිය පෙබරවාරි 19 දින එහි සේවකයින්ට දැනුම් දී ඇති අතර ඒ අනුව මෙතෙක් මෙත්ලිය කර්මාන්තශාලාවේ සිදුකරන ලද ඇඟලුම් නිෂ්පාදන කටයුතු සමූහයේ වෙනත් කර්මාන්තශාලා වෙත ගෙනයාමට කටයුතු කරනු ලබන බවත් වාර්තා වේ.

තුලිහිරිය MAS Fabric Park (MFP) හි පිහිටි මෙම මෙත්ලිය පරිශ්‍රය ඉදිරියේ දී සමූහයේ knitting, dyeing සහ finishing යනාදී රෙදි නිෂ්පාදන මෙහෙයුම් වෙනුවෙන් පමණක් යොදා ගැනීමට සමූහය විසින් තීරණය කර ඇත.

මෙහිදී දැනට සේවයේ නියුක්ත මෙත්ලිය සේවකයින් හට මෙරට හෝ ජෝර්දානයේ පිහිටි වෙනත් කර්මාන්තශාලා වෙත යොමුවීමේ අවස්ථාව ලබා දෙන අතර එම යළි ස්ථානගත වීමේ කාලසීමාව වෙනුවෙන් මාස 03ක වැටුපක් ගෙවීමට නියමිත බවයි MAS සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මේ අතර පුද්ගලික හේතූන් මත මෙම විකල්පය භාර නොගෙන සේවයෙන් ඉවත් වීමට යම් සේවකයෙකු අදහස් කරන්නේ නම්, ශ්‍රී ලංකා කම්කරු නීති යටතේ නියමිත අවම මට්ටමට වඩා ඉහළ වන්දියක් ගෙවීමට සමාගම එකඟ වී ඇති බවත් එමෙන්ම සියලු නීතිමය ගෙවීම් පියවමින්, අප්‍රේල් මස අවසානය දක්වා වැටුප් සහ අප්‍රේල් මස ප්‍රසාද දීමනාව ද ගෙවීමට නියමිත බවත් සඳහන්.

ගෝලීය වශයෙන් ඇඟලුම් කර්මාන්තයේ පසුබැසීමක් වාර්තා වීම සමූහයේ මෙම තීරණය ගැනීමට මූලිකවම හේතු වී තිබේ. MAS සමූහය පවසන්නේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන අපනයන වෙළඳපොළවල ආර්ථික මන්දගාමීභාවය, උද්ධමන පීඩනය, ගාස්තු හා වාණිජ ප්‍රතිපත්ති වෙනස්වීම් හේතුවෙන් ඇණවුම් ප්‍රමාණයන්ට බලපෑම් එල්ල වී ඇති බවයි.

මෙවැනි පසුබිමක දිගුකාලීනව ස්ථාවර ලෙස ක්‍රියාත්මක වීම සඳහා සමාගම මෙහෙයුම් නැවත සංවිධානය කරමින් සිටින අතර, පසුගිය කාලයේ හයිටි සහ ඩොමිනිකන් ජනරජයේ මෙහෙයුම් නවතාලීම ද ඒ අතරට අයත් බව MAS සමූහය සඳහන් කරයි.