රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :
ඉරානයට එල්ල වූ ඒකාබද්ධ ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රහාර හමුවේ ගාසා තීරයේ රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත.
අත්‍යවශ්‍ය ආහාර සහ වෛද්‍ය ආධාර ගාසා තීරයට රැගෙන යන ප්‍රධාන පිවිසුම මෙය වන බැවින්, මෙම තීරණය හේතුවෙන් දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය විය හැකි බවට විවිධ පාර්ශව අනතුරු අඟවයි.
කෙසේ වෙතත්, දැනට පවතින ආහාර තොග ප්‍රමාණවත් බැවින් මෙම වැසීමෙන් සිවිල් වැසියන්ට බලපෑමක් නොවන බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කරයි.
මෙම සිදුවීමට සමගාමීව ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වීම හේතුවෙන් කලාපීය යුධමය තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.
මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙම සීමා කිරීම් හරහා රෝගීන් ඉවත් කිරීම සහ සහන සේවා සැපයීම සම්පූර්ණයෙන්ම අඩාල වන බවයි.
තවද, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමඟ බටහිර රටවල් මෙමගින් ඉරාන පාලන තන්ත්‍රයේ බිඳ වැටීමක් අපේක්ෂා කළද, එරට ආරක්ෂක අංශ සහ පාලන ව්‍යුහය වඩාත් දැඩි මිලිටරි මුහුණුවරක් ගනිමින් ශක්තිමත් විය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉරානය දැනටමත් සිය අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය පිහිටුවීමට පියවර ගෙන ඇති අතර, ජාතික ආරක්ෂාව මුල්කරගත් නව ප්‍රතිපත්තියක් හරහා ජනතාව ඒකරාශී කිරීමට උත්සාහ කරයි.
නායකත්වයේ අඩුව පිරවීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වැනි ආයතන සක්‍රීය වන බැවින්, කලාපීය වශයෙන් වඩාත් ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බව මින් අවධාරණය වේ.
තවද, මෙම සිදුවීම හරහා ඉරානය සිය පැරණි ඉවසීමේ ප්‍රතිපත්තිය අත්හැර සෘජු යුධමය ප්‍රවේශයකට යොමු විය හැකි බව ද වැඩිදුරටත් විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.



