කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) වාර්තා වූ වැඩිම පරිහානියේ ඊයේ (03) දිනයේ දී වාර්තා විය.
එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,290.68කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,443.38ක් ලෙසින් සටහන් වුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසීමේ දී 5.44%ක පහළ යාමකි.
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොල ඉතිහාසයේ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය, ඒකක 1,000 ක් ඉක්මවා පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.
එසේම, ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL20 දර්ශකය ඒකක 322.32කින් පහළ ගොස් ඒකක 6,313.65ක් ලෙසින් සටහන්විය. මෙය 4.86%ක පහළ යාමකි.
ඊයේ (03) දිනයේ ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තුවේ දීම කොටස් වෙළෙඳපොල ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය. ඒ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට (27) සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙනි. ඉන් අනතුරුව පෙරවරු 10.01ට දෛනික ගනුදෙනු යළි ආරම්භ වූ අතර මධ්‍යහ්නය වන විට මෙම කඩා වැටීම යම්තාක් දුරකට සමනය වීමක් දිස් වුවද ඉන් පසු නැවත වරක් මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි.
රු. බිලියන 9.56ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් ද ඊයේ දිනයේදී වාර්තා වී තිබිණි.




