ඉන්දීය සාගරයේ යුද ගිනි: ‘Iris Dena’ නෞකාව ගිල්වා දැමීම පිටුපස ඇති සැඟවුණු කතාව..

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ LNW :

මධ්‍යම පෙරදිග කලාපයේ ඇවිලෙමින් පවතින බහිසුණු යුද ගින්න දැන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව අසලටම පැමිණ තිබේ. පසුගිය මාර්තු 4 වනදා ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී ඉරාන නාවික හමුදාවට අයත් 'Iris Dena" යුද නෞකාව අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දැමීම,ඉන්දීය සාගර කලාපයේ අස්ථාවරත්වය' (Geopolitical Instability) මනාව පසක් කරන සිදුවීමකි.

ඉන්දියාව ලබාදුන් අනපේක්ෂිත රැකවරණය සහ ජයශංකර්ගේ ප්‍රකාශය

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේ පෙබරවාරි 28 වැනිදාය. එදිනම, ඉන්දීය සාගරයේ රැඳී සිටි ඉරාන නෞකා තුනක් තම රටේ වරායන් වෙත පැමිණීමට අවසර ඉල්ලා සිටීමත් සමඟ ඉන්දියාව භූ-දේශපාලනික වශයෙන් ඉතා සංවේදී තීරණයක් ගත්තේය. අමෙරිකාව සමඟ සමීප සබඳතා පැවැත්වුවද, ඉන්දියාව මෙම ඉරාන නෞකාවලට රැකවරණය දීමට තීරණය කිරීම කැපී පෙනෙන “නාවික බලහත්කාරය” (Naval Coercion) ප්‍රතික්ෂේප කිරීමකි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය…

“ඉරාන පාර්ශවය පෙබරවාරි 28 වැනිදා කලාපයේ තිබූ නෞකා තුනකට අපගේ වරායන් වෙත පැමිණීමට අවසර ඉල්ලා සිටියා. එය මාර්තු 1 වැනිදා ලබා දුන්නා… මෙය නිවැරදි දෙය බව අපි විශ්වාස කරනවා.”

යුද්ධය ශ්‍රී ලංකාවේ 'දොරකඩටම' පැමිණීම

මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානය අප හෑල්ලුවට නොගත යුතුය. ‘Iris Dena” නෞකාව ප්‍රහාරයට ලක්වූයේ ගාල්ලට බටහිරින් නාවික සැතපුම් 20ක් (කිලෝමීටර් 37ක්) වැනි ඉතා කෙටි දුරකදීය. වැදගත්ම කරුණ නම්, මෙය ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදාගැනීම් කලාපය (Search-and-Rescue Zone) තුළ සිදුවීමයි. මෙය මධ්‍යම පෙරදිග කලාපයෙන් පිටතදී මෙම යුද්ධයේදී එල්ල වූ පළමු යුද ප්‍රහාරයයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන පරිදි, තම වෙරළේ සිට සැතපුම් 2,000ක් දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව මෙම “සාහසික ක්‍රියාව” සිදු කර ඇත. මෙය ශ්‍රී ලංකාව වැනි රටවලට රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම ආරක්ෂක වශයෙන් ද බරපතළ පණිවිඩයක් ලබා දෙයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු ටෝපිඩෝ ප්‍රහාරය? සත්‍යය කුමක්ද?

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෙම ප්‍රහාරය අමෙරිකානු නාවික ශක්තිය ලොවට පෙන්වන උදාහරණයක් ලෙස හඳුන්වමින් පවසා සිටියේ, මෙය 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු අමෙරිකානු සබ්මැරීනයක් විසින් සතුරු නෞකාවක් ටෝපිඩෝ (Torpedo) ප්‍රහාරයකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව බවයි.

නමුත් , 1945න් පසු අමෙරිකාවට මෙය පළමු අවස්ථාව වුවද, බ්‍රිතාන්‍යය සහ පකිස්ථානය වැනි රටවල් මීට පෙර ටෝපිඩෝ ප්‍රහාර මගින් සතුරු නෞකා ගිල්වා ඇති බව ලෝක ඉතිහාසය සාක්ෂි දරයි. එබැවින් මෙය හුදෙක් අමෙරිකානු නාවික ඉතිහාසයේ සන්ධිස්ථානයක් මිස, ලෝක නාවික ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් නොවේ.

නෞකා තුනේ අභිරහස සහ 130කගේ ඉරණම

පෙබරවාරි 15 සිට 25 දක්වා ඉන්දියාවේ විශාඛපට්නම් හි පැවති නාවික අභ්‍යාසයකින් පසු ආපසු යාමට සූදානම් වූ ”Iris Dena” (Iris Dena), ‘අයිරිස් බුෂෙහ්ර්’ (Iris Bushehr) සහ ‘අයිරිස් ලවන්’ (Iris Lavan) යන නෞකා ත්‍රිත්වයට අත් වූ ඉරණම කනගාටුදායකය:

  • අයිරිස් දෙනා: 130 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ ගමන් කරමින් සිටියදී ටෝපිඩෝ ප්‍රහාරයට ලක්වූ අතර, ඉන් නාවිකයන් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
  • අයිරිස් ලවන්: ආරක්ෂිතව ඉන්දියාවේ කොචි (Kochi) වරාය වෙත ළඟා වූ අතර එහි කාර්ය මණ්ඩලය දැනට ඉන්දීය නාවික පහසුකම් යටතේ පසුවේ.
  • අයිරිස් බුෂෙහ්ර්: එන්ජින් දෝෂයක් හේතුවෙන් මාර්තු 5 වනදා ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාගෙන තිබේ.

යුද්ධය හමුවේ එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් එක් නෞකාවක් කාර්මික දෝෂයකට ලක්වීමත්, අනෙකක් ගිල්වා දැමීමත් තුළින් කලාපීය මුහුදු සීමාවේ පවතින අනාරක්ෂිත බව මනාව පැහැදිලි වේ.

ට්‍රම්ප්ගේ ඉලක්කය සහ ඉන්දීය සාගරයේ අර්බුදය

මෙම ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පරිදි, ඉරාන නාවික හමුදාව විනාශ කිරීම ඔවුන්ගේ එක් ප්‍රධාන අරමුණකි. මේ වන විටත් ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 20ක් පමණ විනාශ කර ඇති බව වාර්තා වේ.

තම “පසුපස ගෙවත්ත” බඳු ඉන්දීය සාගරය තුළ ලෝක බලවතුන් මෙලෙස සෘජු ප්‍රහාර එල්ල කිරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල කරන අභියෝගයකි. මෙය කලාපයේ අනෙකුත් රටවලට තම ආරක්ෂක උපායමාර්ග නැවත සලකා බැලීමට බලකරන තත්ත්වයකි.

‘Iris Dena’ නෞකාවේ අවසානය පෙන්නුම් කරන්නේ යුද්ධය තවදුරටත් මධ්‍යම පෙරදිගට පමණක් සීමා නොවන බවයි. එය අපගේ දොරකඩටම පැමිණ තිබේ.