Home ව්‍යාපාරික ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA)විසින් සංවිධානය කරනු ලබන Profood Propack සහ...

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA)විසින් සංවිධානය කරනු ලබන Profood Propack සහ Agbiz Knowledge Hub 2026 ප්‍රදර්ශනයේ 23 වන අදියර එළිදක්වයි

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය වන ‘Profood Propack & Agbiz Knowledge Hub 2026’ ප්‍රදර්ශනය, 2026 අගෝස්තු 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සහ ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන සේවා ආයතනය (LECS) එක්ව මෙය සංවිධානය කරයි.

මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ මාර්තු 10 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති 22 වන ප්‍රදර්ශනයේ සම්මාන ප්‍රදානෝත්සවය අතරතුරදීය. එහිදී කර්මාන්තයේ ප්‍රමුඛයන් සහ පාර්ශවකරුවන් රැස්වී ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වය ඇගයීමට ලක් කළ අතර, ඉදිරි වසරේදී වඩාත් පුළුල් හා බලපෑමක් ඇති කළ හැකි අයුරින් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ දැක්ම ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලදී.

කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලය (National Agribusiness Council) සහ ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතනය (IFSTSL) යන ආයතනවල පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, වසර 25කට වැඩි කාලයක් පුරා මෙරට ආහාර ක්ෂේත්‍රය නංවාලීම සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා කටයුතු කරන, ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ (SLFPA) ප්‍රධානතම වැඩසටහන ලෙස ක්‍රියා කරයි. කෘෂිකර්මාන්තය, ආහාර සැකසීම, ඇසුරුම්කරණය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කර්මාන්තවල ප්‍රමුඛයන් ඒකරාශී කරමින් නවෝත්පාදන, දැනුම හුවමාරුව සහ උපායමාර්ගික සහයෝගීතාව සඳහා අවස්ථාව සලසයි.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ (SLFPA) සභාපතිතුසිත් විජේසිංහ මහතාසඳහන් කර සිටියේ Profood Propack & Agbiz Knowledge Hub 2026 ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තයේ ප්‍රමිතිය තීරණය කරන ප්‍රධානතම මිනුම්දණ්ඩ ලෙස අඛණ්ඩව ඉදිරියට යන අතර දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන කොටස්කරුවන් එකම වහලක් යටට ගෙන ඒම හරහා,මෙම ප්‍රදර්ශනය මුළු ක්ෂේත්‍රය පුරාම නවෝත්පාදනයන්, සහයෝගීතාවය සහ වර්ධනය ඇති කිරීමට මග පාදනවා.” යනුවෙනි.

‘Profood Propack & Agbiz Knowledge Hub 2026’ ප්‍රදර්ශනය මගින් බෙදාහරින්නන්, නිෂ්පාදකයන්, සැපයුම්කරුවන් සහ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් එකිනෙකා හා සම්බන්ධ කරන අතර ආහාර පාන නිෂ්පාදනය, සැකසීම, ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ නවතම දියුණුව ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම, නවීන ආහාර කර්මාන්තයේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය, නූතන තාක්ෂණය හා දත්ත (Data) මුසු වූ නිෂ්පාදන ක්‍රමවේද (ස්මාර්ට් නිෂ්පාදන ක්‍රමවේද) සහ තිරසාර භාවිතයන් පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරේ.

‘Profood Propack & Agbiz Knowledge Hub 2026’ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන් වන නදිෂාන් ගුරුගේ සහ සමීර ජයතිලක මහත්වරුන් ප්‍රකාශ කර සිටියේ මෙවර අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් (SMEs)සහ නව ව්‍යවසායකයන් මෙන්ම, ඔවුන්ට උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම සවිබල ගැන්වීම කෙරෙහිය. වැඩිදියුණු කළ පහසුකම් සහ ජාත්‍යන්තර සහභාගීත්වය සමඟින්, මෙම ප්‍රදර්ශනය සැමට වටිනා අවබෝධයක් සහ අවස්ථාවන් ලබා දීමට පොරොන්දු වෙනවා. එමෙන්ම, අපගේ සාමාජිකයන් වෙනුවෙන් ‘දැනුම බෙදාගැනීමේ මධ්‍යස්ථානය’ (Knowledge Hub) හරහා කර්මාන්තයට අදාළ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටත් අප සැලසුම් කර තිබෙනවා යනුවෙනි.

මෙම ප්‍රදර්ශනය මගින් ශක්තිමත් B2B, ව්‍යපාරිකයන් අතර සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දෙයි. එමගින් නව හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට, වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට සහ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට මග පෑදේ. නවක ව්‍යාපාර (Startups), කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සහ දැනටමත් ස්ථාවරව පවතින සන්නාමයන්ට (Brands) වර්ධනය වීමට මෙය කදිම වේදිකාවකි. එමෙන්ම, ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් සතු ගෝලීය අත්දැකීම් සහ නවෝත්පාදනයන් මෙරටට ගෙන ඒම හරහා, කලාපීය ආහාර සහ ඇසුරුම්කරණ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් වේ.

මෙවර ප්‍රදර්ශනයේ මූලික අවධානය දැනුම බෙදාගැනීම (Knowledge sharing)කෙරෙහි යොමු වී ඇත. වඩාත් පුළුල් කරන ලද ‘දැනුම බෙදාගැනීමේ මධ්‍යස්ථානය’ (Knowledge Hub), සජීවී ප්‍රායෝගික දර්ශන සහ ප්‍රවීණයන් විසින් මෙහෙයවන සාකච්ඡා මගින් ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා සහ අවබෝධය වර්ධනය කිරීමට සහය වේ. එසේම, අලුතින් ව්‍යාපාර ලෝකයට පිවිසෙන ව්‍යවසායකයින්ට ඇති අවස්ථා හඳුනා ගැනීමට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සාර්ථකව ඉදිරියට යන ආකාරය පිළිබඳව මග පෙන්වීමට විශේෂ ‘පාරිභෝගික සහාය කවුන්ටරයක්’ (Consumer Assistance Desk) ද මෙහි ස්ථාපිත කර ඇත.

‘Profood Propack & Agbiz Knowledge Hub 2026’ ප්‍රදර්ශනය හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් නොව, එය රටේ ආර්ථිකයට සහ ජාතික සංවර්ධනයට ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ ආහාර පාන, ඇසුරුම්කරණය සහ කෘෂිකර්මාන්තයේ වර්ධනයට දායක වන අතරම, අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීමටත්, සංචාරක ව්‍යාපාරයට සහ රැකියා උත්පාදනයටත් මෙය විශාල රුකුලක් වේ. එමෙන්ම, කාර්මික සංවර්ධනය සහ නිෂ්පාදනවලට වැඩි අගයක් එකතු කිරීම වැනි ජාතික අරමුණු සමඟද මෙය මැනවින් සම්බන්ධ වී පවතී.

වෙළෙඳාම, නවෝත්පාදනය සහ ප්‍රවීණත්වය යන සියල්ල එක්තැන් කරමින්, ‘Profood Propack & Agbiz Knowledge Hub 2026’ ප්‍රදර්ශනය මගින් ආහාර පාන සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු භූමිකාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත. දිවයිනේ වඩාත් ක්‍රියාශීලී ආහාර සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට, කර්මාන්තයේ ප්‍රමුඛයන්, නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයන් සමඟ ඔබත් එක්වන්න.