සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් ඊශ්‍රායලයේ සිය උපරිම ආරක්ෂක පද්ධති සහ අතිනවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර ඇති අතිශය සංවේදී කලාපයක් වන නෙගෙව් (Negev) පළාතේ පිහිටි ඩිමෝනා (Dimona) ප්‍රසිද්ධ නොකළ න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට හයිපර් සොනික් (Hypersonic) මිසයිල දියත්කර තිබේ.
ප්‍රංශ සහාය ඇතිව රහසිගතව ඉදිකරන ලද එහි පර්යේෂණ මධ්‍යස්ථානය 1958 දී විවෘත කළ දා සිට ඩිමෝනා ඊශ්‍රායලයේ න්‍යෂ්ටික වැඩසටහනේ හදවත වී ඇත.
මෙය ප්‍රහාරය මෑතකදී තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල වූ ප්‍රහාරයන්ට ලබා දුන් සෘජු සහ දැඩි ප්‍රතිචාරයක් බව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර මෙම ප්‍රහාරයේ වඩාත්ම බියකරු සහ ලෝකයම කම්පනයට පත් කළ කාරණය වන්නේ, මිසයිලය පතිත වීමට පෙර ඊශ්‍රායලය පුරා කිසිදු අනතුරු ඇඟවීමේ සයිරන් නාදයක් හෝ ක්‍රියාත්මක නොවීමයි.
ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක් වේගයෙන් ගමන් කරන මෙම Hypersonic මිසයිල වල ඇති අධිවේගී ස්වභාවය නිසා ලෝකයේ දැනට පවතින දියුණුම මිසයිල නාශක පද්ධති වලට පවා ඒවා හඳුනාගෙන ගුවනේදීම විනාශ කිරීම අතිශයින්ම අසීරු කාර්යයක් වී ඇත.
කෙසේ නමුත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පැවසුවේ ඩිමෝනා හි ෂිමොන් පෙරෙස් නෙගෙව් න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයට හානියක් සිදුවී ඇති බවට කිසිදු ඇඟවීමක් ලැබී නොමැති බවත්, එම ප්‍රදේශයේ අසාමාන්‍ය විකිරණ මට්ටම් අනාවරණය වී නොමැති බවත්ය.

