සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සමුද්‍රීය ආරක්ෂාව සහ භූ-දේශපාලනික තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, ඊශ්‍රායලයට අයත් සියලුම නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) භාවිත කිරීම ස්ථිරවම තහනම් කරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඊයේ(01)දිනයේදී ඉරාන ජනාධිපතිවරයා සිදුකල විශේෂ දේශනයකදී මේ බව සඳහන් කළ අතර මෙය කාලීන යුදමය තත්ත්වයක් මත ගත් තාවකාලික තීරණයක් නොවන බවත්, ඕනෑම සටන් විරාමයකින් ඔබ්බට යන ඉරානයේ ස්ථිර උපායමාර්ගික ප්‍රතිපත්තියක් බවත් සඳහන් කර තිබිණි.
මෙම දැඩි තීරණය ප්‍රකාශයට පත් වූයේ ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවකින් පසුව සහ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද සටන් විරාම එකඟතාවන් ඉරානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.
ඉරාන නිලධාරීන්ට අනුව, රුසියාව, චීනය, ඉන්දියාව, ඉරාකය සහ පකිස්ථානය වැනි මිත්‍ර රටවලට මෙම කලාපය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර (Safe Passage) හිමිවන අතර, මැලේසියාව සහ ඕමාන් වැනි රටවල් සමඟ සහෝදරත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉරානය සූදානම්ය. කෙසේ වෙතත්, ඊශ්‍රායලය පැවැත්මට තර්ජනයක් වන සතුරෙකු ලෙස හඳුන්වමින්, ජාත්‍යන්තර මුහුදු ගමන් සඳහා ඔවුන්ට ඇති අයිතිය ඉරානය විසින් මෙලෙස අභියෝගයට ලක් කර ඇත.
මෙම පියවර මගින් ඊශ්‍රායලය ආර්ථික වශයෙන් හුදකලා කිරීමට ඉරානය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි. අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙම තහනම නීතිවිරෝධී බව පවසමින් දැඩි විරෝධය පළ කර ඇති අතර, ඊශ්‍රායලය සිය නාවික අයිතීන් වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව දන්වා තිබේ.



