සාගතය මැද ඉතියෝපියානු යුද්ධය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීත් අසරණ වෙයි!

Date:

ටයිග්‍රේ කලාපය බාහිර සමාජයෙන් මුළුමනින්ම විසංධි වී ඇත…. සාගතයෙන් පෙළෙන අසරණයන්ට ආධාර යැවීමට වත් නොහැකිය.

ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ මතුව ඇති සිවිල් යුධ තත්ත්වය හමුවේ නිර්මාණය වී ඇති දැඩි මානුෂීය අර්බුදය සාගතය ඇතුළු ගැටළු රැසකට මුල පිරීමට හේතුවී තිබේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඝෙබ්‍රෙයෙසුස් මහතා පාපොච්ඡාරණය කරන්නේ ඉතියෝපියාවේ යුධ තත්ත්වයක් මතුව ඇති ටයිග්‍රේ කලාපයේ කුසගින්නේ සිටින තම ඥාතීන්ට ජීවත් වීම සඳහා මුදල් යැවීමට වත් තමාට හැකියාවක් නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ඝෙබ්‍රෙයෙසුස් මේ බව ප්‍රකාශ කළේ ඉකුත් දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ය.

මෙම යුධ කලාපය තුළ තමාගේ ඥාතීන් බොහෝ සිටින බවත්, එම ඥාතීන් කුසගින්නේ විඳවන බවත්, ඔවුනට මුදල් යැවීමට තමාට අවශ්‍යව ඇති මුත් එය කිරීමට හැකියාවක් නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසයි. එමෙන්ම, ඔවුන් අතුරින් ජීවතුන් අතර සිටින්නේ කවුරුන් ද මියගොස් සිටින්නේ කවුරුන් ද යන්න පවා තමා නොදන්නා බව හෙතෙම පාපොච්ඡාරණය කළේය.

ඊයේ (26) දින තුළ මෙම කලාපයේ යුධමය තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් දෙදෙනෙකු කුඩා දරුවන් බව ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඉතියෝපියාවේ ප්‍රාදේශීය ටයිග්‍රේ ආරක්ෂක බලකාය (Tigray Defense Forces: TDF), එරිත්‍රියානු ආරක්ෂක හමුදාවේ (Eritrean Defence Forces: EDF) මැදිහත් වීම ද මත ඉතියෝපියානු ජාතික ආරක්ෂක බලකාය (Ethiopian National Defense Force: ENDF), ඉතියෝපියානු ෆෙඩෙරල් පොලීසිය (Ethiopian Federal Police), ප්‍රාදේශීය පොලීසිය සහ අසල්වාසී අම්හාරා සහ අෆාර් කලාපවල ජෙන්ඩර්මරී බලකායන් සමඟ සටන් වැදීම හේතුවෙන් ටයිග්‍රේ කලාපයේ මෙම සන්නද්ධ යුධ තත්ත්වය මතුව ඇත. මෙකී සෑම පාර්ශවයක් ම, විශේෂයෙන් ENDF, EDF, සහ TDF බලකා, මෙම සන්නද්ධ තත්ත්වය හමුවේ යුධ අපරාධවලට චූදිතයන් වීම ද විශේෂත්වයකි. මෙම යුධ තත්ත්වය මතුවූයේ 2020 නොවැම්බර් මස දී වන අතර, මේ හේතුවෙන් එම කලාපය තුළ විදුලිය, අන්තර්ජාලය, බැංකු සේවා, හා දුරකතන ආදී සියලු සේවා ඇණ හිට තිබේ.

මෙම යුධමය තත්ත්වය හමුවේ ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපය මුළුමනින්ම පාහේ බාහිර ලෝකයෙන් විසංධි වූ ප්‍රාථමික ජන කලාපයක් බවට පත්ව ඇත. තම පවුලට මුදල් යැවීමට වත් හැකියාවක් නොමැති බවට උක්ත ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානීගේ පාපොච්ඡාරණය පැමිණෙන්නේ මෙකී පසුබිම තුළයි.

මේ වන විට ටයිග්‍රේ කලාපයේ යුධමය තත්ත්වය නිසා මියගොස් ඇති පුද්ගලයන් ගණන දස දහස ඉක්මවා ඇති අතර, ආහාර නොමැතිව සාගින්නේ පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන ගණනක් බව සඳහන්. සාගින්නේ පෙළෙන ඉතියෝපියාවට මෙසේ අත්‍යාවශ්‍ය ආධාර පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට රජයට බරපතල චෝදනා එල්ල වී තිබේ. ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ මිලියන 5.5 පමණ වූ ජනතාවගෙන් හරි අඩක් පමණ “බරපතල” ආහාර හිඟයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන (World Food Programme) නිවේදනය කරන ඇත.

ඉතියෝපියාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වත්මන් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රෝස් ඝෙබ්‍රෙයෙසුස් මහතා මීට ඉහත අවස්ථාවක පවසා සිටියේ, ටයිග්‍රේ කලාපයේ යුද්ධය රුසියානු – යුක්රේන යුද්ධයට වඩා බරපතල බවත්, මුළු ලොවක් රුසියානු – යුක්රේන යුද්ධය පිළිබඳ සිය අවධානය යොමුකරද්දී ටයිග්‍රේ යුද්ධයට අදාළ ගෝලීය ප්‍රතිචාරය අවම වීම පිටුපස තිබෙන්නේ වර්ගවාදය විය හැකි බවත් ය. ඒ අනුව ඉතියෝපියාවේ සිටින මිනිසුන්ගේ හමේ වර්ණය මත ඔවුන් විඳින වේදනාව ලෝකයට නොපෙනෙන බව උපකල්පනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා යෝජනා කර තිබේ.

ටයිග්‍රේ යුද්ධය ආරම්භ වූ 2020 සමයේ එම යුද්ධයට අවි සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ඝෙබ්‍රෙයෙසුස් කටයුතු කළ බවට ඇතැම් පාර්ශව චෝදනා කළ අතර, එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ මෙම යුධමය තත්ත්වය තුළ එක් පාර්ශවයකට පක්ෂපාතී වීමට තමා කටයුතු නොකරන බව ය.

ඡායාරූප: ඒඑෆ්පී

ඉසුරු පරාක්‍රම | අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...