ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබෙන පැය 48ක වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
පවතින ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් සාකච්ජා කළ බවත් ඒ අනුව ප්‍රශ්නය විසඳනු ඇති බවට විශ්වාස කරන බවත් අද (10) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.
එකඟතා කඩකරමින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන තැනට පත් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය බව ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය ඇමතිවරයාගේ ක්‍රියාකලාපය නිසා ජනාධිපතිවරයාද අපහසුතාවට පත්වන අතර දැන් හෝ සාකච්ජාවක් ලබා දී ගැටළු විසදන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවන බව ඔහු කියා සිටියේය.
”රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජන මාලාවක් පැවැත්වුණා. නමුත් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දුවක් දුන්නා. ඒ අනුවයි ඒ වෙලාවේ වැඩවර්ජනය අත්හිටෙව්වේ. නමුත් මේ සාකච්ඡා කරන්න නියමිත කාරණය වෙන පශ්චාත් වෛද්‍ය නාම ලේඛණය සහ දුෂ්කර සේවා ලයිස්තු ප්‍රකාශයට පත් කලා. මේක කළේ අත්තනෝමතිකවයි. සාකච්ඡාවේ ප්‍රස්තුතයම සාකච්ඡාවට කලින් විනාශ කළා. සාකච්ඡා කරන්න බදුන් වෙච්ච දේම විනාශ කළා. එතකොට ප්‍රශ්නය වෙන්නේ සාකච්ඡා කරන්නේ කුමක්ද කියලයි. මේ අනුව තමයි පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ. ඒ අනුව මේ වන විටත් එම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. වැඩ වර්ජනය ආරම්භ කරන්න නිමිත්ත දුන්නේම සෞඛ්‍ය අමාත්‍යාංශය. සම්මතය බිදිනවා නම් අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම්.”
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාවක් අද කැඳවන බවත් එහිදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණයක් ගන්නා බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ප්‍රකාශ කළේය.


