කොවුලාගේ මළගම

ගුවන් ගැබින් පියඹා ආ කොවුලාන
ගුවන් තොටේ පය පැකිලී වැටුණාද
සිතින් නිරන්තර මධුවිත තොල ගාන
ඉතින් අපට කෝ අවුරුදු මධුපාන?

විමුක්තියට මුළු ගැන්වෙන ඉසව්වේ
නිවන් මඟය උලලේනාය කිව්වේ
දුකින් මිදෙන්නට අකැමති කොදෙව්වේ
දුකින් පිරුණ නුඹෙ හඬ මධුම පෙව්වේ?

ඇහැර ගන්න බැරි වූයෙනි සැනසීම
පහර ගත්ත තැනමයි බග සඳ තාම
නහරකාර රතු සෙබළුන් මහ රෑම
පැහැර ගෙන ගියයි මළකඳ රහසේම

කොවුලනි ! නුඹේ මළගම දා කනත්තේ
කපුටු කරව් ගින්දර පපු කැනැත්තේ
කවුරු එගින්දර නිවනට කැමැත්තේ
වවුලො ලගිති මධු ඉහිරෙන කැවුත්තේ

හිතට සුවය පිළිරැව් දෙන මධුවිතය
බිමට වැටුණු විත රැඳුණේ නුඹ අතය
රිදුණ තරම් රිදුණේ අපෙ හදවතය
අපට ඉතින් සිතිවිලි නැති නොනගතය

බග සඳ නැගී ආවත් අවුරුදු දාට
කගපත සදිසි කටහඬ සිහිවෙද කාට
මධුවිත නොමැති අවුරුදු විත් මොනවාට
එරබදු කැකුළු මත දුකඳුළු රතුපාට.

~ මංජුල වෙඩිවර්ධන
( 2003 අප්‍රේල්)

ඔහු නික්ම ගොස් මේ බක් මහට අවුරුදු 23කි.