පාස්කු මරණ පිටුපස ඇති බලවේගයන් සොයා ගැනීම අපේ අයිතියක් – ප්‍රධාන සැමරුමට එක්වෙමින් කාදිනල් හිමි කියයි (PHOTOS)

කොළඹ LNW: අද (21) දිනට පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර හතක් ගත වෙයි.

2019 අප්‍රේල් 21 වනදා, පාස්කු ඉරිදා දිනයේදී කතෝලික පල්ලි තුනක් සහ සුඛෝපභෝගී සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරගෙන මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදුවූ අතර දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක සහ දෙහිවල පිහිටි ලැගුම්හලක ද බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය.

“ජාතික තව්හීද් ජමාත්” නම් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක උද්ගලයින් 08ක් විසින් එම ප්‍රහාර එල්ල කර තිබුණු නමුත් එය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව විමර්ශන වලින් අනාවරණය වෙමින් පවතී.

එම ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ පසුවන්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.

එම මිලේච්ජ ප්‍රහාරයට වසර හතක ගතව ඇතත් තවමත් ඊට යුක්තිය සාධාරණය ඉටුව නොමැති අතර ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳවද නිශ්චිත ලෙස සමාජයට අනාවරණය වී නොමැත.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 277 දෙදෙනෙකු මියගිය අතර 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ඒ අනුව වසර හතක පුරාවට එය සිහිපත් කරමින් යුක්තිය අපේක්ෂාවෙන් පසුවෙයි. අද දිනයේද අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම පැවැත්විය.

සැමරුමට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ තවදුරටත් වත්මන් ආණ්ඩුවේ පාස්කු විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තුවෙන් පසුවෙන බවයි.

මෙම පාස්කු මරණ පිටුපස ඇති බලවේගයන් මොනාද යන්න සොයා ගැනීම අපේ මූලික අයිතිවාසිකමක් වන අතර සැමට සාධාරණය ඉටුවිය යුතු බව අගරදගුරු හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

”වර්තමාන රජය විමර්ශන ගැන සුබවාදී වැඩපිළිවෙළක් ගෙන යනවා.ප්‍රභූ පෙළේ නිලධාරීන් ගැනත් කරුණු අනාවරණය වෙනවා. ඕනෑම අයෙකු නීතිය හමුවට ගෙන යෑමට ක්‍රියා කළ යුතුයි. ඕනෑම අයෙකුගෙන් රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කළ යුතුයි. නීතිය සැමට එක ලෙස කළ යුතුය. රණවිරු ලේබලය යටතේ සැඟවෙන්න උත්සාහ කරන අය ඉන්නවා.වර්තමාන ජනාධිපතිතුමා පොරොන්දුවක් වුණා මෙය යට පත්වෙන්න දෙන්නේ නෑ කියලා.” යනුවෙන් අගරදගුරු හිමිපාණන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න