රෂිකා හෙන්නායක අප්‍රේල් 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
පුවත අසන්න මෙතැනින්..
පුවත නරඹන්න මෙතැනින්.
ලොව පවතින උත්තරීතරම සහ විශ්වාසනීයම බැඳීම මව් සෙනෙහසයි. දරුවෙකු වෙනුවෙන් මවක කරන කැපකිරීම් සමාජය සැමවිටම දකින්නේ දේවත්වයෙන් වුවද, දකුණු ඕස්ට්‍රේලියාවෙන් (South Australia) වාර්තා වන මෙම පුවත එම මානුෂීය විශ්වාසයේ පදනමම සොලවා දමන්නකි. තමාගේම දරුවාගේ ජීවිතය සහ සෞඛ්‍යය ද්‍රව්‍යමය සැප සම්පත් උදෙසා “රංග භාණ්ඩයක්” බවට පත් කළ අතිශය කණගාටුදායක මානසිකත්වයක විවරණයකි.
සමාජය සාමාන්‍යයෙන් මවක කෙරෙහි තබන අචල විශ්වාසය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින්, තම හය හැවිරිදි පුත්‍රයාට “පිළිකාවක් ඇති බවට” ව්‍යාජ ලෙස පෙනී සිටි 45 හැවිරිදි ඕස්ට්‍රේලියානු මවක පිළිබඳව පසුගියදා නීතිය ක්‍රියාත්මක විය. ඇය තම පවුලේ අය, මිතුරන් සහ දරුවාගේ පාසල් ප්‍රජාව පවා රවටමින් මහා පරිමාණ ලෙස පරිත්‍යාග මුදල් එකතු කර තිබුණේ ඇගේ සුඛෝපභෝගී ජීවන රටාව නඩත්තු කිරීම වෙනුවෙනි.

මෙම මව තම රංගනය තාත්වික කිරීම සඳහා තම දරුවා කෙරෙහි දැක්වූ අමානුෂිකත්වය ඕනෑම සංවේදී හදවතක් කම්පනයට පත් කරයි. දරුවා විකිරණ ප්‍රතිකාර (Radiation treatment) ලබන බව ලෝකයට පෙන්වීමට ඇය දරුවාගේ හිස සහ ඇහිබැමි මුළුමනින්ම බා දැමුවාය. දරුවාගේ හිස සහ දෑත් වෙලුම් පටිවලින් ඔතා, ඔහුව රෝද පුටුවකට සීමා කරමින් දෛනික ක්‍රියාකාරකම් අහුරා තැබුවේ වංචාව තවදුරටත් තහවුරු කිරීමටයි.
තවද, ඇය තම දරුවාට අනවශ්‍ය වේදනා නාශක සහ සෞඛ්‍ය අතිරේක ඖෂධ ලබා දීමට පවා පසුබට නොවූ අතර, ඇයගේ මෙම නින්දිත ක්‍රියාව අධිකරණය හමුවේ පැමිණිල්ල විසින් විස්තර කළේ මෙසේය:
“ඇය තම ආදරණීයයන් සහ සමස්ත ප්‍රජාවම රැවටීම සඳහා තම පුත්‍රයාව අතිශය ආත්මාර්ථකාමී ලෙස ‘රංග භාණ්ඩයක්’ (Prop) ලෙස භාවිතා කළාය.”
මෙම බිහිසුණු වංචාවට මූලිකම නිමිත්ත වූයේ ඇස සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට දරුවා රැගෙන ගිය අවස්ථාවකි. දරුවාගේ ඇසක ඇති වූ සුළු අනතුරක් ප්රාග්ධනය කරගත් ඇය, ඔහුට “ඇස් පිළිකාවක්” (Eye cancer) ඇති බවට බොරු ප්‍රචාරයක් ගොඩනැගුවාය.
මෙම ද්‍රෝහී සැලසුම පිටුපස වූයේ ඇගේ සූදුවට ඇබ්බැහි වීම (Gambling addiction) සහ කොවිඩ්-19 වසංගතයෙන් පසු ඇති වූ මූල්‍ය පීඩනයයි. එහෙත් ඇයගේ සැබෑ අභිලාෂය වූයේ තම වත්කමට වඩා වැඩි මුදලක් වියදම් කරමින් “ප්රකෝටිපතියන්ගේ සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ” (Rich and famous) ජීවන රටාව අනුකරණය කිරීමයි. නවතම සන්නාම (Latest brands) භාවිතා කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ඇයට තිබූ මානසික උමතුව maternal instinct හෙවත් මාතෘ සහජාසයට වඩා බලවත් වී තිබුණි. නඩු විභාගයේදී හෙළි වූ පරිදි, ඇය “සීමාන්තික පෞරුෂ වර්ධන අක්‍රමිකතාවකින්” (Borderline Personality Disorder) පෙළුණු අතර, ඇයගේ ක්‍රියාව මහා පරිමාණ වැරදි විනිශ්චයක් (Monumental lapse in judgement) ලෙස හඳුනා ගැනුණි.
මෙම රංගනය හේතුවෙන් ඇගේ ස්වාමිපුරුෂයාට ද මුලින් චෝදනා එල්ල වූ නමුත් පසුව පොලිසිය විසින් එම චෝදනා ඉවත් කර ගන්නා ලදී. තම බිරිඳ කෙරෙහි තැබූ පරම විශ්වාසය පාවා දෙනු ලැබීමෙන් ඔහු සහ දරුවන් අත්විඳින මානසික කම්පනය වචනවලට පෙරළිය නොහැකි තරම්ය.

තම වින්දිත ප්‍රකාශය (Victim impact statement) ඉදිරිපත් කරමින් ඔහු අධිකරණය හමුවේ මෙසේ පැවසීය:
“මම මගේ බිරිඳ ලෙස ඔබ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබුවා. මම කිසිම දිනක ඔබ ගැන සැක කළේ නැහැ. මම අපේ පවුල වෙනුවෙන් කැප වුණා. නමුත් දැන් මට හැඟෙන්නේ මම චෙස් පුවරුවක ඉත්තෙක් (Pawn) වගේ කියායි.”
අධිකරණයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “මගේ දරුවන්ට කළ අපරාධය කිසිදු දඬුවමකින් සාධාරණීකරණය කළ නොහැකි” බවයි.
දකුණු ඕස්ට්‍රේලියානු දිසා අධිකරණ විනිසුරුවරයා ඇයගේ මෙම ක්‍රියාව “කුරිරු” (Cruel), “සැලසුම් සහගත” (Calculated) සහ “ප්රයෝගකාරී” (Manipulative) එකක් ලෙස හඳුන්වමින්, ඇයට වසර 4 කුත් මාස 3 ක සිරදඬුවමක් නියම කළේය. කෙසේ වෙතත්, ඇයට ලබන වසරේ අප්‍රේල් මාසයේදී (Next April) සමාව යටතේ නිදහස් වීමට (Parole) සුදුසුකම් ලැබෙනු ඇත.



