ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ …

රෂිකා හෙන්නායක අප්‍රේල් 29, කොළඹ LNW :

පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (28) කොළඹ විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම ආයුර්වේද උපාධිධාරීන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය යන පීඨවලින් වසර පහක  උපාධි  අධ්‍යාපනය හැදෑරූවන් වන අතර 2017 – 2018 අධ්‍යයන වසරවලට අදාළව අධ්‍යයන කටයුතුවල නිරත වූහ.

විශේෂඥ වෛද්‍යවරුන් යටතේ සහ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල නේවාසික අංශය භාර පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ සෘජු අධික්ෂණය යටතේ ශික්ෂණ රෝහල්, ආයුර්වේද පර්යේෂණායතනය, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල්වල එක් අවුරුදු කාල සීමාවක් මෙම උපාධිධාරීන් සීමාවාසික පුහුණුව ලැබීමට නියමිත ය.

සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය. මෙම පුහුණුලාභීන් වෙත මාසික ව සීමාවාසික පුහුණු දීමනාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙනු ඇත.

මෙම උපාධිධාරීන් 402 අතරින් 249 දෙනෙක් ආයුර්වේද අංශයෙන් ද, 109 දෙනෙක් සිද්ධ අංශයෙන්  මෙන්ම  යුනානි අංශයෙන් 44 දෙනෙක් සීමාවාසික පුහුණුව හැදෑරීමට නියමිත ය.

පත්වීම් ලබා දීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රටක් ලෙස සංවර්ධනය වෙමින් පවතින මෙවන් අවධියක රට ඉදිරියට ගෙන යාමට දැඩි මූල්‍ය විනයක් අවශ්‍යවන බව සදහන් කර සිටියේ ය.

දිට්වා සුළි කුණාටුව පැමිණීමෙන් පසුව බදු වැඩි කිරීමකින් තොරව සිදුවූ හානිය යථාවත් කිරීමට රුපියල් මිලියන 500ක් භාණ්ඩාගාරයෙන් වෙන් කිරීමට හැකියාව ලැබුණු බව සදහන් කළ අමාත්‍යවරයා මෙම වසරේ අවසානයේ ගෙනෙන අයවැයේ දී රුපියල්  බිලියන 2000 ක් පමණවන මුදලක් ඒ සඳහා වෙන් කිරීමට බලාපොරොත්තුවන බවත්, එය ඒතෙක් මෙතෙක් ඉතිහාසයේ ප්‍රාග්ධන වියදම් සඳහා අයවැයෙන් වෙන් කළ වැඩිම මුදල වන බව ද පැවසීය.

එම මුදල් නිවැරදිව ඉලක්ක සහගතව වියදම් කළොත් පමණක් ආර්ථිකය වර්ධනය අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන බවත්, මුල්‍ය කළමණාකරණය තුළ ඉලක්ක මත පිහිටමින් කටයුතු කිරීම අපගේ ඉලක්කය බවට පත්විය යුතු බවත් පැවසීය.

සමාජය පරිවර්තනය වන විට මීට දශක කිහිපයකට පෙර පැවැති ආකාරයට සිදු කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය පුහුණු කරනවානම් අවශ්‍යතාවය මත පුහුණුකරන බවත්, එම අවශ්‍යතාවය වෙනම තිබිය දී උසස් අධ්‍යපන අමාත්‍යාංශයෙන් ලබා දෙන සියලු උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගැනීමක් සිදු නොවන බව ද පැවසීය.

මෙම තත්ත්වය මෙම කණ්ඩායම අත්විදිමින් සිටින බවත්, ඉතා කෙටි කාලයක් ඇතුළත දී බටහිර වෛද්‍ය උපාධිධාරින්ට ද, එලෙසම මෙවන් තත්වයකට මුහුණ දීමට සිදුවන බව ද පැවසීය.

මේ වනවිට ඔවුන්ගේ පුරප්පාඩු ද  අවසන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පුරප්පාඩු වැඩි කර ගැනීමට උත්සාහ කළහොත් තව වසර කිහිපයක් යනවිට එයත් සීමිත තත්ත්වයට පත් වන බවද පැවසීය. ඉදිරියේ දී පුරප්පාඩුවලට පැමිණෙන අයට  යම් නිශ්චිත ක්‍රමවේදයක් අනුව සේවාවට ඇතුළත්වීමට සිදුවන බවද පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන,දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග යන මහත්ම මහත්මීන්, වෛද්‍ය උපාධිධාරීන් ඇතුළුව පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...