කොළඹ LNW:රාජගිරිය ප්රදේශයේදී තරුණයකු බරපතල අනතුරකට ලක් කිරීම සහ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී ඊයේ 05) ආරම්භ විය. මෙම ආන්දෝලනාත්මක රිය අනතුර සිදුව තිබුණේ 2016 වසරේදීය.
රාජගිරියේදි සිදු වූ එම අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු අසුනේ සිටියේ පාඨලී චම්පික රණවක බවට සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේදී හඳුනාගෙන තිබේ.
අනතුර සිදු වූ අවස්ථාවේ වාහනය ලුහුබැඳ ගොස් එය නවත්වාගත් බව පැවසූ පළමු සාක්ෂිකරු වන ගයාන් විනෝදක, රියදුරු අසුනේ සිටි පුද්ගලයා “මම පාඨලී චම්පික. මාත් එක්ක බොරැල්ල පොලිසියට එන්න” යැයි පැවසූ බව සඳහන් කර තිබුණි.
සාක්ෂිකරු විසින් විත්ති කූඩුවේ සිටි පාඨලී චම්පික රණවක මහතාව සෘජුවම හඳුනාගෙන ඇති අතර නිතර රූපවාහිනියෙන් සහ පුවත්පත්වලින් දැක තිබූ බැවින් ඔහුව හඳුනා ගැනීමට අපහසු නොවූ බවද පවසා ඇත.
විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් නඩුවේ දෙවැනි විත්තිකරු වන දිළුම් තුසිත කුමාර මහේස්ත්රාත් අධිකරණයේදී දැනටමත් වරද පිළිගෙන ඇති බවයි.
ඒ අනුව එකම සිද්ධියකට විත්තිකරුවන් දෙදෙනකු සිටිය නොහැකි බවත්, මෙලෙස නඩු පැවරීම නීතියේ ආධිපත්යයට පටහැනි බවත් විත්ති පාර්ශවය තර්ක කළ අතර, ඊට පිළිතුරු දෙමින් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මහේස්ත්රාත් අධිකරණයේ තීන්දුව මෙම මහාධිකරණ නඩු විභාගයට බාධාවක් නොවන බවයි.
අනතුරින් පසු තුවාල ලැබූ සංදීප් නැමැති තරුණයා රෝහල්ගත කිරීමට කටයුතු කළ ආකාරයත්, අනතුර කර පලාගිය වාහනය හඹා ගොස් රියදුරු අසුනේ සිටි පුද්ගලයා සමඟ කළ කතාබහත් සාක්ෂිකරු විසින් විස්තර කරනු ලැබීය.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්රදේශයේදී රිය අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම, අසත්ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්ය පාටලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලීසිය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.


