කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මැයි 12 වෙනිදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමක් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා එලෙස කැඳවා ඇත්තේ එයාර් බස් ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වෙයි.
එම කැඳවීමට අදාළ ලිපිය අද දින (09) දින කාල්ටන් නිවසට ලැබී ඇති අතර පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාරදී නොතිබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගිය පසු පැය 24 ක් යන්නට මත්තෙන් මෙම ලිපිය ලැබී තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2ක් අල්ලස් ලබාගෙන අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.
2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලිඅත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට ද සැකකරු ප්‍රකාශ කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙන ලදී.
කෙසේවෙතත් අනතුරුව කපිල චන්ද්‍රසේන අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබුණේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක කළ බලපෑමකට අනුව තමා එසේ ප්‍රකාශ කළ බවයි.


