ඒ නිහඬ නිසල තැපැල් කණුව ….

දහස් ගණනක් එහා මෙහා ඇදෙන
නොඉවසිලිමත් නගරයක වුව
තිබෙන්නට හැක
පාඩුවේ හිස ඔසවා සිටින
නිහඬ නිසල තැපැල් කණුවක්

අව් වැසි සුළං මැද වුව
රතු පැහැයෙන්
වෙනත් පාටකට ආදරේ බව නොකියන
පාඩුවේ හිස ඔසවා සිටින
නිහඬ නිසල තැපැල් කණුවක්

උදාසීන රාජකාරි ලියුම් ය
හීන දිගන්තෙන් හීන වල තේරුම් අසන
සනුකගේ සිංදුවක් ඉල්ලන පෝස්ට් කාර්ඩ් ය
පමා වූ වාරික ගෙවන්නට කෙරෙන ඇරියුම් අතර
කෝපයෙන් දමා ගැසූ අනාදර පණිවුඩ ය
ඒ සියල්ලටම යට වුණු
ආදර සුසුම් තැවරුණු සෙනෙහෙ කොළ ය

මේ සියල්ල ම දකිමින්
‘මට බැරි ය – මේ ඇති ය
හෑබෑවට මොවුන්
දවසකට ලියන ලියුම් ඕනෑවට වැඩි ය’
කිසිදිනෙක නොකියන
ආදර හසුන් ද මංගල යෝජනා ද
මරණ දැන්වීම් ද
අම්මාට යවන කෙටි පණිවුඩ ද
එයාකාරයෙන්ම විසුරුවන
දන්නා කාලයක හිඳ
රතු පැහැයෙන්ම සිටි
නිහඬ නිසල තැපැල් කණුව ය

ඒ ඒක වර්ණයෙන් වසා ගත්
කුහර හදවත තුළ
මොනවා තිබෙන්නට ඇති ද
ලියන්නට ආසා සෙනෙහෙ කොළයක්
තබන්නට ආසා පණිවුඩයක්
බණින්නට ආසා බැණුමක්
නොතිබිණි ද
අනුන් නමට එවූ ලියුම් අතර
රවුම් අකුරෙන් ලියා
තමන්ගේ නමට එවන
එකම එක ලියුමක් ගැන
ආසාවක් නොතිබුණිද

ආත්මාර්ථකාමී නගරයක් මැද
නිසල තැපැල් කණුවකට වුව
පණ ගැහෙන හදවතක් තිබෙන්නට ඇත
මා නමට ලියැවුණ
අකුරක් අදත් නැද්දැයි
නිහඬවම රහසේම
සෝ සුසුම් හෙළන්නට ඇත

ප්‍රියේ ..
ඔබේත් මගේත් පෙම් හසුන්
නැති නොකළ තැපැල් කණුව
කාටවත්ම නොකියා
ඉදිරී වැටුණේ
ඒ නිසා වන්නට ද බැරි නැත

~ සහන් කසීර වික්‍රමසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...