2014 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතා කරමින් ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරයක කටයුත්තක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඒ, මෙම සිද්ධියට අදාළව ඉහත සඳහන් පිරිස නීතිපති උපදෙස් මත පොදු දේපළ පනත යටතේ සැකකරුවන් වශයෙන් නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතා කර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් ටීෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇති බවත් එම ටීෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපකිෂ මහතාගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම සඳහන් කර තිබූ බවත් ය. එම ටීෂර්ට් තොගය මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ සටහනක් සඳහා බෙදාහැර ඇති බවත් පැවසූ සීඅයිඩී නිලධාරීන් මේ සම්බන්ධයෙන් සැකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකිරීමට බලාපොරොත්තු වන බවත් දන්වා සිටියේය.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ස්ථාන වෙත ගියත් ඔවුන් එහි නොසිටි බවත් එම නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇති අතර සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ද ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව එසේ විදෙස් ගමන් තහනමක් පැනවූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට ද නියෝග කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂව අත් අඩංගුවට ගැනීම සඳහා පසුගිය මැයි 22 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද වරෙන්තුවක් නිකුත් කර තිබිණි. ඒ, මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඔහු පෙනී නොසිටීම හේතුවෙනි. බැසිල් රාජපක්ෂ මේ වනවිට සිටින්නේ ඇමරිකාවේ ය.


