ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130ක් දක්වා ඉහළ දැමීමේ තීරණයක් ගෙන ඇති අතර අදාළ යෝජනාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කරයි.
පසුගිය වර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් සහ මෙවර රුපියල් 24කින් වශයෙන් ආසන්නතම අවස්ථා දෙකේදී පමණක් ඉන්ධන මිල රුපියල් 36කින් ඉහළ ගොස් ඇති බව පවසන ලේකම්වරයා තවදුරටත් පවසන්නේ පසුගිය වර ඉන්ධන මිල ඉහළ ගියද ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවයි.
නමුත් මෙවර රුපියල් 24ක් වැනි ඉහළ අගයකින් මිල වැඩි වීම නිසා තවදුරටත් පැරණි මිල ගණන් යටතේ සේවය සැපයිය නොහැකි බව ඔහු කියා සිටියි.
මේ අතර ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.


