සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පලස්තීන හමාස් සංවිධානයේ නව දේශපාලන ප්රධානියා ලෙස ජ්යෙෂ්ඨ නායකයෙකු වන කලීල් අල්-හයියා (Khalil al-Hayya) අභ්යන්තර මැතිවරණ ක්රියාවලියක් මගින් තේරී පත් වී තිබේ.
2024 වසරේදී ගාසා තීරයේදී ඊශ්රායල හමුදාව විසින් එම සංවිධානයේ පෙර නායක යහියා සින්වාර් (Yahya Sinwar) ඝාතනය කිරීමෙන් පසුව අද(20) එම සංවිධානය මෙම නව පත් කිරීම නිවේදනය කර ඇති අතර අල්-හයියා යනු පසුගිය වසරේ කටාර් රාජ්යයේදී තමන්ව ඝාතනය කිරීමට ඊශ්රායලය විසින් දරන ලද උත්සාහයකින් දිවි ගලවා ගත් අයෙකි.
යුද කාලීන පාලනය හැසිරවීම සඳහා 2024 අගභාගයේදී පිහිටුවන ලද තාවකාලික පස් දෙනෙකුගෙන් යුත් පාලක කවුන්සිලයක කොටසක් වූ අල්-හයියා, දැන් 2027 දී අවසන් වන වත්මන් මැතිවරණ වාරයේ ඉතිරි කාලය සඳහා සේවය කරනු ඇත.
1960 වසරේ ගාසා තීරයේ උපත ලැබූ අල්-හයියා 1980 මාර්තු මාසයේදී හමාස් (Hamas) සංවිධානයේ නිර්මාතෘ ෂෙයික් අහමඩ් යසින් සමඟ පැවති තීරණාත්මක හමුවීමක් ඔහුව සංවිධානාත්මක ක්රියාකාරීත්වය වෙත යොමු කළේය. අල්-හයියා පුළුල් ලෙස ඉස්ලාමීය අධ්යයන කටයුතුවල නිරත වූ අතර, 1983 දී ගාසා හි ඉස්ලාමීය විශ්වවිද්යාලයෙන් (Islamic University of Gaza) උපාධියක් ද, 1986 දී ජෝර්දාන විශ්වවිද්යාලයෙන් පශ්චාත් උපාධියක් ද, 1997 දී සුඩානයෙන් හදීස් (Hadith) විද්යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ගෙන ඇත.
හමාස් සංවිධානයේ දීර්ඝකාලීන දේශපාලන නායකයෙකු ලෙස සැලකේන ඔහු මීට පෙර හමාස් සංවිධානය වෙනුවෙන් ඊශ්රායලය සමඟ පැවති සටන් විරාම හා ප්රාණ ඇපකරුවන් හුවමාරු කිරීමේ සාකච්ඡාවල ප්රධාන නියෝජිතයෙකු ලෙස ද කටයුතු කර ඇත.
විදෙස් මාධ්ය වාර්තා අනුව, අල්-හයියාගේ පත්වීමෙන් හමාස් සංවිධානයේ වත්මන් ප්රතිපත්තිවල සැලකිය යුතු වෙනසක් අපේක්ෂා නොවන අතර, සංවිධානයේ පවතින දේශපාලන හා යුදමය ස්ථාවරය තවදුරටත් පවත්වාගෙන යාමට ඔහු කටයුතු කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඔහුගේ පත්වීම සිදුව ඇත්තේ ගාසා තීරයේ ගැටුම් තවදුරටත් පවතින අතර, සටන් විරාමයක් සහ දේශපාලන විසඳුමක් සෙවීම සඳහා ජාත්යන්තර මැදිහත්වීම් අඛණ්ඩව සිදුවන පසුබිමකය.

