සටහන: සශිකලා මධුෂාණී
ශ්රී ලාංකේය ගුවන්විදුලි නාට්ය කලාවේ ස්වර්ණමය යුගයක් නිර්මාණය කළ ප්රවීණ රචක, නිෂ්පාදක සහ අධ්යක්ෂ කලාසූරී ආචාර්ය මුදලිනයක සෝමරත්න මහතා අද(22)දින අභාවප්රාප්ත වී තිබේ.
තෙල්දෙණිය උඩිස්පත්තුව ප්රදේශයේ උපත ලැබූ මුදලිනායක මහතා මහනුවර ධර්මරාජ විද්යාලයේ ආදි සිසුවෙකුවන අතර ඔහුගේ නාමය මෙරට ජනතාව අතර අමරණීය වූයේ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ විකාශය වූ ජනප්රිය “මුවන්පැලැස්ස” ගුවන්විදුලි නාට්ය මාලාව හරහාය.
ගැමි ජීවිතය, මිනිස් සබඳතා, ආදරය, සංස්කෘතික වටිනාකම් සහ සමාජ යථාර්ථයන් සංවේදී ලෙස ඉදිරිපත් කළ මෙම නිර්මාණය, දශක ගණනාවක් පුරා ශ්රාවකයන්ගේ ආදරය දිනාගත් ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ගුවන්විදුලි නාට්ය අතරින් එකක් ලෙස සැලකේ.
ගුවන්විදුලි නාට්ය කලාවට පමණක් සීමා නොවූ සෝමරත්න මහතා, සිංහල සිනමාවටද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.
ඔහු නිෂ්පාදනය කළ “බිනරමලී”(1969) චිත්රපටය කලාත්මක වටිනාකමකින් යුත් නිර්මාණයක් ලෙස ප්රශංසාවට ලක් වූ අතර, සම්මාන රැසක්ද දිනා ගැනීමට සමත් විය.
‘දරුදුක’, ‘සංවත්සරය’, ‘ගිනි කඳු’, ‘මහදැනමුත්තා සහ කොණ්ඩකැවුම්’ ඔහු විසින් රචිත සුවිශේෂිත වේදිකා නාට්ය කිහිපයකි.
මීට අමතරව ගැමි පසුබිම, ශ්රී ලාංකේය සංස්කෘතිය සහ සාමාන්ය ජන ජීවිතය ආශ්රිත කතා නිර්මාණය කිරීම ඔහුගේ නිර්මාණ ශෛලියේ සුවිශේෂී ලක්ෂණයක් විය.
සෝමරත්න මහතාගේ නිර්මාණයන්හි කැපී පෙනෙන විශේෂත්වයක් වූයේ සරල භාෂාවෙන් ගැඹුරු සමාජ පණිවිඩ ඉදිරිපත් කිරීමයි. ඔහු විසින් නිර්මාණය කළ චරිත සහ කතා වස්තු ශ්රාවකයන්ගේ දෛනික ජීවිතයට සමීප වූ බැවින්, ඒවා පරම්පරා ගණනාවක් පුරා ජනතා මතකයේ රැඳී තිබේ.
ඔහුගේ වියෝව පිළිබඳව කලාකරුවන්, මාධ්යවේදීන් සහ රසිකයන් ශෝකය පළ කරමින් සඳහන් කරන්නේ ශ්රී ලාංකේය ගුවන්විදුලි නාට්ය කලාවට නව මංපෙත් විවර කළ විශිෂ්ට නිර්මාණකරුවෙකු රටට අහිමි වූ බවයි.
මුදලිනායක සෝමරත්න මහතාගේ නිර්මාණ උරුමය, විශේෂයෙන් “මුවන්පැලැස්ස”, ඉදිරි පරම්පරාවන්ටද ශ්රී ලාංකේය ගුවන්විදුලි කලාවේ ස්වර්ණමය යුගය සිහිපත් කරවන අමරණීය සම්පතක් ලෙස සදා පවතිනු ඇත.

