සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ අගනුවර වන කියිව් සහ එහි අවට ප්‍රදේශ ඉලක්ක කරගනිමින් රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
වාර්තා අනුව, මධ්‍යම රාත්‍රියෙන් පසු ආරම්භ වූ ප්‍රහාර හේතුවෙන් කියිව් කලාපයේ ස්ථාන කිහිපයක ගබඩා, කාර්මික ගොඩනැගිලි සහ වෙනත් දේපළවලට දැඩි හානි සිදුව ඇති අතර, ගිනිගැනීම් රැසක්ද වාර්තා වී ඇත. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා ගැනීම සඳහා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව බලධාරීන් සඳහන් කරයි.
යුක්රේන හමුදාව පවසන්නේ රුසියාව ඩ්‍රෝන යානා 115ක් සහ මිසයිල රැසක් භාවිත කර ප්‍රහාර එල්ල කළ බවත්, ඩ්‍රෝන බොහොමයක් වළක්වා ගැනීමට හැකි වූ නමුත් බැලස්ටික් මිසයිල බිඳ හෙළීමට නොහැකි වූ බවද ඔවුන් සඳහන් කර ඇත.
මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තම ප්‍රහාරය යුක්රේන හමුදා සැපයුම් හා ලොජිස්ටික් මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන සිදු කළ බවයි. කෙසේ වෙතත්, යුක්රේන බලධාරීන් පවසන්නේ ප්‍රහාරවලින් සිවිල් යටිතල පහසුකම් සහ ගොඩනැගිලිද විශාල වශයෙන් හානියට පත්ව ඇති බවයි.

