සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡතම මානව සංහාරය ලෙස සැලකෙන හිරෝෂිමාවට පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමේ 81වන සංවත්සරය අද සපිරේ.
1945 ලෝක යුද්ධ සමයේ අගෝස්තු මස 6 සහ 9 යන දිනවල එක්සත් ජනපදය පිළිවෙලින් හිරෝෂිමා සහ නාගසාකි යන ජපන් නගරවලට පරමාණු බෝම්බ හෙළීම සිදු වූ අතර මෙම අවස්ථාව සන්නද්ධ ගැටුමකදී න්‍යෂ්ටික අවි භාවිතා කරන එකම අවස්ථාව වශයෙන් ලෝක ඉතිහාසයේ සටහන් වේ.
දෙවන ලෝක යුධ සමයේ ජර්මනියේ ප්‍රධානම මිතුරා වූයේ ජපානයයි. ජර්මනිය රුසියාව ආක්‍රමණයෙන් පසු ලැබූ අන්ත පරාජයත් සමඟ ඔවුන්ගේ කීර්තිය වියැකී යන්නට වූ අතර ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවලට බලවත් තර්ජනයක්ව පැවැතියේ ජර්මනියට පසු ජපානයයි. ජපානය විසින් ලෝක ඉතිහාසයේ දරුණුම මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස එක්සත් ජනපදයේ පර්ල් වරායට එල්ල කරන ලද ප්‍රහාරයත්, චීනයට සිදුකල ආක්‍රමණයන්, ලෝක ඉතිහාසයේ දරුණුම මෙන්ම අති බිහිසුණු සිද්දි දාමයක් වන නැන්ජින් සංහාරය හෙවත් අහිංසක චීන දරුවන්, කාන්තාවන් ඉතාමත් ම්ලේච්ඡ ලෙස දූෂණය කල, අහිංසක ජනතාව ලක්ෂ ගණනක් සමූල ඝාතනයට ලක්වුනු සිදුවීම් දාමය හේතුවෙන් ජපානය පිලිබදව මිත්‍ර හමුදාව හා සෝවියට් හමුදාව අතර පැවතුනේ ඉතාමත් දැඩි පිලිකුලකිනි. මෙවැනි තත්වයක් තුළ ජපානයට අවනත වන ලෙස කරන ලද යෝජනා සියල්ල හිරෝහිතෝ අධිරාජ්‍යා ප්‍රතික්ෂප කළ අතර අවසන් ජපන් යුධ භටයා දක්වා සටන් කරන බවට ඔහු දිවුරා සිටින ලදි.
මේ නිසා ජපානය මෙල්ල කල හැකි පහසු මෙන්ම වේගවත් ක්‍රමයක් පිලිබදව ඇමරිකානු බුද්ධි අංශ හා යුධ කමිටුවේ අවධානය යොමු වූ අතර ඒ අනුව ජපානය ඉක්මනින් යටත් කර ගැනීමේ මාර්ගයක් සොයමින් සිටි ඇමරිකාව රහසිගත පරමාණු අවි සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළේය. එය “මෑන්හැටන් ව්‍යාපෘතිය” (Manhattan Project) ලෙස හැඳින්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ විද්‍යාඥයන් විසින් න්‍යෂ්ටික විඛණ්ඩනය පිළිබඳ පර්යේෂණ සිදු කරමින් පළමු පරමාණු බෝම්බ නිර්මාණය කළහ.
1945 ජූලි මාසයේදී “Trinity Test” ලෙස හැඳින්වුණු ලොව පළමු පරමාණු බෝම්බ පරීක්ෂණය සාර්ථක වීමත් සමඟ, එම අවිය යුද්ධය අවසන් කිරීම සඳහා භාවිත කිරීම පිළිබඳ තීරණ ගනු ලැබීය.
හිරෝෂිමාවේ විනාශය
1945 අගෝස්තු 6 වනදා උදෑසන 8.15ට B-29 “Enola Gay” ගුවන් යානයෙන් “Little Boy” පරමාණු බෝම්බය හිරෝෂිමා නගරයට හෙළනු ලැබීය.

මෙම බෝම්බයේ බලය TNT ටොන් 12,500කට 15,000කට සමාන වූ අතර එහි ප්‍රතිඵල ලෙස ආසන්න වශයෙන් 70,000කට ආසන්න ජනතාවක් ක්ෂණිකව මිය ගිය අතර 1945 අවසානය වන විට විකිරණ රෝග, පිළිස්සුම් සහ තුවාල හේතුවෙන් මරණ සංඛ්‍යාව 140,000ක් පමණ දක්වා ඉහළ ගියේය. නගරයේ ගොඩනැගිලිවලින් විශාල ප්‍රමාණයක් විනාශ වු අතර රෝහල්, වෛද්‍ය පහසුකම් සහ හදිසි සේවා පද්ධති දැඩි ලෙස අඩාල විය.
හිරෝෂිමා නගරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් විශාල පිරිසක්ද ප්‍රහාරයෙන් මිය ගිය අතර, තුවාල ලැබූ දහස් ගණනකට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණි.
ඉන් පසු එළඹුණු දින, සති හා මාස ගණන තුළදී විකිරණ විෂ වීමෙන් හටගත් තුවාල හේතුවෙන් තවත් දස දහස් ගණනක් මිය ගියහ. එම ප්‍රහාරයෙන් වුවද ජපානයේ යටත්වීමක් නොදුටු තැන දින තුනකට පසු ‘ෆැට් මෑන්’ නමින් හැඳින්වුණු තවත් බෝම්බයක් කිලෝමීටර 420ක් පමණ දකුණින් වූ නාගසාකි වෙත හෙළිණි.



ඇස්තමේන්තු කරන ලද මරණ වලට අනුව 350,000 ක් වූ හිරෝෂිමාවේ ජනගහනයෙන් 140,000ක් මියගිය අතර නාගසාකි හි මියැදුණු සංඛ්‍යාව අවම වශයෙන් 74,000 කි. පරමාණු බෝම්බ ප්‍රහාරයට පෙර නගරයේ ජනගහනය 340,000-350,000 අතර විය. දලවශයෙන් නගරයේ ගොඩනැගිලිවලින් 70%ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර තවත් 7%ක් දරුණු හානි වලට ලක්විය. හිරෝෂිමාවේ ප්‍රහාරයෙන් එහි රෝහල් 45ක් පමණ විනාශ වුනු අතර නගරයේ රැදී සිටි වෛද්‍යවරුන් හා හෙදියන් 90%ක් ජීවිතක්ෂයට පත්විය. නාගසාකි නගරයේද සිදුවූයේ එවන් දෙයකි. මේ නිසා බොහෝ වින්දිතයන් බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර ලැබීමට ස්ථානයක් නොමැතිව මිය යන ලදි.
බෝම්බ ප්‍රහාර වලින් වසර 6කට පමණ පසුව මෙම නගර වල ලියුකේමියා රෝගන්ගේ සීඝ්‍ර වර්ධනයක් දකින්නට ලැබෙන අතර එය විකිරණවල බලපෑම හේතුවෙන් සිදු වන්නක් බව පසුව සොයා ගැණින. ජීවිතය ගලවා ගැනීමට සමත් වූ බොහෝ තරුණියන්ට දරුවන් නොමැති වූ අතර ගබ්සාවීම් බහුලව මෙම නගර වල වාර්තා විය. පරමාණු බෝම්බ වලින් නිකුත් වුනු විකිරණ වලට ගොදුරු වී පසුකාලීනව උපන් දරුවන් විශාල ප්‍රමාණයක් විවිධ ජාන විකෘති වීම් හා ආබාධයන්ට ලක්වුනු නිසා මෙහි විනාශයේ ප්‍රමාණය නිවැරදිව තක්සේරු කල නොහැක.
මෙම ප්‍රහාරය දෙවන ලෝක සංග්‍රාමය අවසන් කරන අතරම, එය විනාශයේ කල්පවත්නා උරුමයක් සහ ගැටුමේ මිනිස් පිරිවැය පිළිබඳ ශෝකජනක කල්පනාවක් ඉතිරි කරනු ඇත. වසර 81කට පසුවද හිරෝෂිමා සහ නාගසාකි යනු යුද්ධයේ විනාශය මෙන්ම සාමයේ වටිනාකම ලෝකයට සිහිපත් කරන ඉතිහාසයේ නොමැකෙන සංකේතයන් ලෙස පවතී.

