ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) දින විෂය භාර අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මේ වන විටත් එය අභියෝගයට ලක්කරමින් පෙත්සම් කිහිපයක් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව පළමු පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ ශ්රී ලංකා නීතිඥ සංගමය විසිනි.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් ශ්රේෂ්ඨාධිකරණයට ඉල්ලා තිබේ.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිදු සිල්වා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ අතර සමගි ජන බලවේගයද 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
SC/SD/31/2026 අංක යටතේ මෙම පෙත්සම ගොණු කර ඇති අතර එහි ව්යවස්ථානුකූලභාවය සහ පවතින ගැටලු පිළිබඳ ව අධිකරණයේ මතය ලබා ගැනීම සඳහා මෙසේ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව නිවේදනය කර තිබේ.
සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් රටේ ප්රජාතන්ත්රවාදී ව්යුහය, බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතු බවයි.
එමෙන්ම කැබිනට් අනුමැතිය හිමිව තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය විසින්ද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.


