බටහිර ඇලස්කාවේදී කුලී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම මිය යති.

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බටහිර ඇලස්කාවේ දුරස්ථ රේඩාර් මධ්‍යස්ථානයක් අසල සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි සිටි පුද්ගලයින් 8 දෙනාම මියගොස් ඇති බව ෆෙඩරල් ගුවන් සේවා සහ හමුදා නිලධාරීහු පැවසූහ.

මූලික තොරතුරුවලට අනුව, Cessna 441 වර්ගයේ මෙම ගුවන් යානය Anchorage හි සිට නිරිතදෙසින් සැතපුම් 450 ක් පමණ දුරින් පිහිටි Cape Newenham බලා පියාසර කරමින් තිබියදී බ්‍රහස්පතින්දා දහවල් 12:15 ට පමණ මෙම අනතුරට ලක්ව ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය (FAA) සඳහන් කළේය.

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට අනුව, ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලයේ (NTSB) ඇලස්කා කලාපීය ප්‍රධානී ක්ලින්ට් ජොන්සන් පැවසුවේ ‘සිකියුරිටි ඒවියේෂන්’ (Security Aviation) ආයතනය විසින් මෙහෙයවන ලද මෙම චාටර් ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හයදෙනෙකු සිටි බවයි.

Alaskan Command පැවසුවේ මෙම ගුවන් යානය පුද්ගලයින් අට දෙනෙකු රැගෙන ගිය සිවිල් කොන්ත්‍රාත් පදනමේ ගුවන් ගමනක් බවයි. පසුව සෙවුම් සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් යානයේ සිටි කිසිවෙකුත් ජීවිතක්ෂයෙන් බේරී නොමැති බව තහවුරු කළේය.
​දිගු පරාසයක රේඩාර් මධ්‍යස්ථානයට (Long Range Radar Site) ප්‍රවේශය ලබා දෙන ගුවන් හමුදා ගුවන් පථයක් වන කේප් නිවුනහැම් ගුවන්තොටුපළ අසලදී යානය අනතුරට ලක්වූ බව එම කොමාණ්ඩය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
​අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

FAA සහ ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB) මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර, NTSB විසින් පරීක්ෂණවල මූලිකත්වය ගනු ඇත.
​කේප් නිවුනහැම් පරිශ්‍රයට ගොඩබෑමට අවසර ඇත්තේ හමුදා සහ අනුමත ගුවන් යානාවලට පමණි.
​FAA සිතියම් වලට අනුව, අඩි 4,000 ක් පමණ දිගැති මෙම බොරළු සහිත ගුවන් පථය පිහිටා ඇත්තේ අඩි 2,300 කට වඩා උසැති කන්දක් බෑවුමේය. ගුවන් පථයේ දෙපස සහ දකුණු කෙළවරේ උස් භූමි ප්‍රදේශ පිහිටා ඇති අතර, එම නිසා යම් සීමාවකට පසුව ගොඩබෑම අතහැර දැමීම (aborting a landing) කළ නොහැකි තරම්ය.

“මෙය අපගේ හමුදා පවුලට සහ අප සේවය කරන ජනතාවට මහත් වූ අලාභයක්,” යැයි එක්සත් ජනපද ගුවන් හමුදා ලුතිනන් ජෙනරාල් රොබට් ඩේවිස් පැවසීය. "මෙම පුද්ගලයින් අභියෝගාත්මක පරිසරයක වැදගත් මෙහෙයුමක් ඉටු කළ කැපවූ වෘත්තිකයන්."
​මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නම් ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමෙන් පසුව ප්‍රකාශයට පත් කරන බවද පැවසීය.

​”මෙම ශෝකජනක අවස්ථාවේදී ඔවුන්ගේ පවුල්වල අයට, මිතුරන්ට සහ සගයන්ට උපරිම සහයෝගය ලබා දීම අපගේ ප්‍රමුඛතාවයයි. අපගේ සෙවුම් සහ මුදාගැනීමේ වෘත්තිකයන්ගේ කඩිනම් සහ නොපසුබට කැපවීම ගැන අපි බෙහෙවින් කෘතඥ වෙනවා,” ඩේවිස් මහතා වැඩිදුරටත් පැවසීය.

ඇලස්කා සෙනෙට් සභික ලිසා මුර්කොව්ස්කි ‘X’ හි සටහනක් තබමින් සිය කණගාටුව පළ කළාය.

“මම ‘සිකියුරිටි ඒවියේෂන්’ යානා මගින් ඇලස්කාව පුරා බොහෝ සංචාරය කර ඇති අතර, ඔවුන්ගේ පළපුරුදු නියමුවන් රැසක් මුණගැසී තිබෙනවා,” මුර්කොව්ස්කි ලිවීය. “අනතුර සිදුවූ ස්ථානයට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම ගැන එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට, NTSB, ඇලස්කා ප්‍රාන්ත පොලිසියට සහ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මගේ ප්‍රශංසාව හිමිවනවා. යානයේ සිටි අය, ඔවුන්ගේ ආදරණීයයන් සහ සිකියුරිටි ඒවියේෂන් කණ්ඩායම වෙනුවෙන් ඇලස්කාව ප්‍රාර්ථනා කරනවා.”

CNN පුවත් සේවය මේ පිළිබඳව NTSB, සිකියුරිටි ඒවියේෂන්, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය, ඇලස්කා ප්‍රාන්ත පොලිසිය සහ ඇලස්කා ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් කරුණු විමසා ඇත.

​සිකියුරිටි ඒවියේෂන් ආයතනය සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ “සෙස්නා කොන්ක්වෙස්ට් (Cessna Conquests) ගුවන් යානා සමූහය අභියෝගාත්මක කාලගුණය සහ ගුවන්තොටුපළ පරිසරයන් සහිත ඇලස්කාවේ පියාසර කිරීම සඳහා වඩාත් සුදුසු” බවයි.

​එන්ජින් දෙකක් සහිත මෙම ටර්බෝ-ප්‍රොප් ගුවන් යානා පීඩනය පාලනය කළ හැකි (pressurized), මගීන් නව දෙනෙකු දක්වා ගෙන යා හැකි සහ අඩි 28,000 ක් උසින් පැයට සැතපුම් 330 ක වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ඇති යානා බව සිකියුරිටි ඒවියේෂන් ආයතනය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...