ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපළෙන් (London Heathrow Airport) පසුගිය දා (04) රාත්රී 09.40 ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගුවන්ගත වූ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යු එල් 504 දරණ ගුවන් යානයේ පැමිණි මගීන් හට විශාල අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවූ බව මෙම ගුවන් යානයේ ගමන් කල මගීහු පවසති.
මෙම ගුවන් යානය ඉකුත් 05 වනදා දහවල් 12.40 ට කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත. මගීන් පෙන්වා දෙන්නේ ගුවන් යානාවේ ගමන් කල හැකි පිරිසට වැඩි පිරිසකට ආසන වෙන් කර තිබෙන බවත් ඒ හේතුවෙන් ඇතැම් මගීන්ට හීත්රෝ සිට කටුනායක බලා යාමේ අවස්ථාව අහිමි වූ බවත් ය.
මගීන් කළමනාකරණය කරගැනීමට නොහැකි වූ නිසා ශ්රී ලන්කන් ගුවන් සේවය විසින් ඇතැම් මගීන්ට 04 වැනිදා ගුවන් ගත නොවන ලෙසත් 05 වැනිදා ගුවන් ගත වන ලෙසත් එලස සිදුකරන්නේ නම් විශේෂ වට්ටම් ද ලබාදෙන බවත් දැන්වූ බව එම මගීන් පැවසුහ.
එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ තමන් ආහාර සදහා ඇනවුම් කල ඒවා වෙනුවට වෙනත් ආහාර ලැබුන බවය. ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් සදහා යෙදෙන බහුතරයක් මගීන් පැමිණෙන්නේ මෙම සේවයේ ඇති ගුණාත්මක භාවයට සහ ගුවන් මගීන්ට ලබාදෙන ආහාරපානවල ප්රනීත බව නිසා බවත් මගීන් පෙන්වා දෙයි.
නමුත් ඉකුත් 04 වන දින පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යු එල් 504 දරණ යානයේදී මගීන්ට එම පහසුකම් වෙනදා මෙන් ගුණාත්මකව ලැබී නොමැති බවත් කිරිබත් ඇණවුම් කල මගීන්ට චිකන් සොසේජස් ලබාදී තිබෙන බවත් මෙම ගුවන් යානයේ ගමන් කල ගුවන් මගියෙකු අපට පැවසුවේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වතුර බෝතල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද එයද නොලැබුණ බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා ගෙන් විමසුමක් කළෙමු. එහිදී ඔහු මෙලස ප්රකාශ කළේය.
” සාමාන්යයෙන් ඕනෑම ගුවන් යානයක ඕවර් බුකින් එහෙමත් නැත්නම් ආසන වෙන් කරවාගැනීම් වැඩියෙන් සිදුකරනවා. එහෙම වෙලාවක අපි ඒ මගීන්ට එය දැනුම්දීලා ඊලග දවසේ ගුවන් ගතවෙන්න කැමතිනම් ඒ වෙනුවෙන් විශේෂ අවස්ථා සදහා පහසුකම් සපයනවා, අවශ්යම කරුණකට කෙනෙක්ට යන්න තියනවනම් අපි අනිවාර්යෙන්ම යවනවා.ආහාර සම්බන්ධයෙන් ගත්තොත් අපි උපරිම ගුණාත්මකව එය ලබාදෙනවා මගීන්ට අවශ්ය විදියට , නමුත් යම් යම් ගැටලුවක් ආවොත් අපි කියන්නේ කස්ටමර් කෙයා එකට පැමිණිලි කරන්න කියල. වතුර බෝතලයක් ලැබුනේ නැත්නම් ඕනෑම මගියෙක්ට පුළුවන් කස්ටමර් කෙයා එකට කතා කරලා ඒ ගැන පැමිණිලි කරන්න, ටිකට් පතේ අංකය සහ ආපු ෆ්ලයිට් එක ගැන සදහන් කරලා. එහිදී අපි ඒ මගීන්ගේ පැමිණිලි විශේෂයෙන් අවධානය යොමු කරනවා ”
මූලාශ්රය : අරුණ


