රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, කොළඹ LNW :
ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර හමුදා පුහුණුව, ආරක්ෂක අධ්‍යාපනය සහ ගුවන් ආරක්ෂක උපකරණ නඩත්තුව සම්බන්ධ ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (සැප්තැම්බර් 8) දිවයිනට පැමිණියේය.
කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය හේරත් මහතා කියා සිටියේ, රාජ්නාත් සිං මහතාගේ මෙම තෙදින සංචාරයේ ප්‍රධාන අරමුණ ආරක්ෂක හෝ උපායමාර්ගික කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නොව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම බවයි.
“ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා යනු ඉන්දියානු දේශපාලනයේ ඉතා පරිණත දේශපාලන නායකයෙක් මෙන්ම අමාත්‍යවරයෙක්. ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ආරක්ෂක කරුණු සඳහාම පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටයි,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්නාත් සිං මහතා අද (සැප්තැම්බර් 9) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙම ගිවිසුම් තුන හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
- පළමු ගිවිසුම: ශ්‍රී ලංකා කෙඩෙට් බලකාය සහ ඉන්දියානු කෙඩෙට් බලකාය අතර සහයෝගිතාව ගොඩනැගීම සඳහා වන අතර, එමගින් අන්‍යෝන්‍ය පුහුණු කිරීම්, ඒකාබද්ධ වැඩසටහන් සහ අනෙකුත් සහයෝගිතා හුවමාරු පහසු කරනු ඇත.
- දෙවන ගිවිසුම: ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලය (NDC) සහ නවදිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර විධිමත් සහයෝගිතාවක් ඇති කිරීම සඳහා වේ. එමගින් දැනුම හුවමාරු කරගැනීම, උපදේශක කාර්ය මණ්ඩල හුවමාරුව සහ නිලධාරීන්ගේ ආරක්ෂක අධ්‍යාපනික වැඩසටහන් නැංවීම සිදු කිරීමට අපේක්ෂිතය.
- තෙවන ගිවිසුම: ගුවන් ආරක්ෂක උපකරණ නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ සහාය සම්බන්ධයෙන් වේ.
2000 සහ 2006 අතර කාලය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලිමීටර් 40 L70 වර්ගයේ ගුවන් විරෝධී ගිනි අවි 24 ක් පරිත්‍යාග කර තිබූ බව අමාත්‍ය හේරත් මහතා පැවසීය.
“ගුවන් හමුදාවට ලබාදුන් ගුවන් ආරක්ෂක අවි 24 න් ඒකක 18 ක නඩත්තු කටයුතු පසුගිය කාලයේදී නොමිලේ සිදුකර දුන්නා. මෙම ගුවන් ආරක්ෂක අවි 24 ම අපට අනුග්‍රාහක සහනාධාර ලෙස ලැබුණු අතර, ඒවායේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහාත් සහාය සහ අනුග්‍රහය හිමිවුණා.
ඉතිරි ඒකක 6 නඩත්තු කිරීම සඳහා තෙවන ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. මේ සඳහා මුම්බායි හි පිහිටි ‘භාරත් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ්’ (Bharat Electronics Limited) සමාගම නඩත්තු කටයුතු සිදු කිරීමට දායක වෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව, රාජ්නාත් සිං මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ඉන්පසු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය හමුවීමට නියමිතය.
කලාපීය සාගර ආරක්ෂාව, ධීවර ගැටලු සහ විදේශීය පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය හේරත් මහතා කියා සිටියේ, මෙම සංචාරයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ දෙරට අතර සුහදතාව, අන්‍යෝන්‍ය අවබෝධය සහ ඉහළ මට්ටමේ සංවාද ශක්තිමත් කිරීම කෙරෙහි බවයි.
සිං මහතා සහ ශ්‍රී ලාංකික නායකයන් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවල වැඩිදුර තොරතුරු නියමිත හමුවීම් අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

