රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :
වලංගු වීසා බලපත්‍ර නොමැතිව කුවේටයේ රැඳී සිටි බවට චෝදනා මත එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (19) අලුයම ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කරනු ලැබූ බව ගුවන් තොටුපළ නිලධාරීහු පැවසූහ.
ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා අවස්ථා සඳහා කුවේටය වෙත ගොස් සිටි මෙම පිරිස, තම රැකියා ගිවිසුම්වලට අනුව අනුමත නොකළ ස්ථානවල වලංගු වීසා බලපත්‍ර නොමැතිව සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් ඊයේ අලුයම 3.10ට පමණ ‘අල් ජසීරා එයාර්ලයින්ස්’ (Al Jazeera Airlines) හි JN-551 දරන ගුවන් යානයෙන් කුවේට් නගරයේ සිට පිටුවහල් කරනු ලැබූ අතර, පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් ඔවුන්ගේ උපන් ගම්මාන වෙත ආපසු යාම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීම ඇතුළු පහසුකම් සැලසීමට කටයුතු කරන ලදී.


