කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ සියලු දිසා අධිකරණවල විභාගවන නඩු සදහා ගැලපෙන පරිදි විද්‍යුත් ගොනු කිරීමේ පද්ධති හදුන්වාදීමට පියවර ගෙන ඇති අතර, ඒ යටතේ එම පහසුකම පළමු වරට හදුන්වාදුන් කොළඹ 07, අතිරේක දිසා අධිකරණ, සුළු හිම්කම් අධිකරණයේ නඩු ගොනු කිරීමේ පද්ධතිය ගරු අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා විසින් ඊයේ (23) පස්වරුවේ නිරීක්ෂණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ අධිකරණය ක්ෂේත්‍රය තුළ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filing) පහසුකම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ මෙම දීපව්‍යාප්ත වැඩසටහන, සාම්ප්‍රදායික නඩු ගොනු මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලිය නවීන, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පද්ධතියක් බවට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් වේ.
එහි එක් පියවරක් වශයෙන් , සියලු දිසා අධිකරණයන්හි විභාග වන සියලුම නඩු සඳහා ගැලෙපන පරිදි මෙම විද්‍යුත් ගොනු කිරීමේ පද්ධතිය සංවර්ධනය කර ඇති අතර, කොළඹ දිසා අධිකරණයේ සුළු හිමිකම් නඩු සඳහා මුල් වරට මෙම පහසුකම හඳුන්වා දී ඇත. ඉදිරියේදී අනෙකුත් සියලු නඩු වර්ග අධිකරණ සඳහාද, කොළඹින් පිටත පිහිටි අධිකරණ වෙතද මෙම පහසුකම අදියරෙන් අදියර කඩිනමින් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ඩිජිටල්කරණ පද්ධතීන් ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සෘජු මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ සංවර්ධනය කර ඇති අතර, පද්ධතියේ තාක්ෂණික සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් සිදු කර ඇත.
කොළඹ සුළු හිමිකම් අධිකරණයට අදාල විද්‍යුත් නඩු ගොනු කිරීමේ කටයුතුවල ආරම්භය සනිටුහන් කරමින් කොළඹ දිසා අධිකරණයේ ද, ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ගුණවර්ධන මහත්මිය විසින් සුළු හිමිකම් අධිකරණය වෙත ප්‍රථම විද්‍යුත් නඩු ගොනුව ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි සියළු නීතිඥවරුන්ට, කොළඹ දිසා අධිකරණයේ වෙබ් අඩවිය හරහා තම පරිශීලක ගිණුමට ප්‍රවේශ වී මෙම පහසුකම භාවිත කළ හැකිය. කොළඹ දිසා අධිකරණයේ වෙබ් අඩවිය https://colombo.districtcourt.lk/ ඔස්සේ ප්‍රවේශ විය හැකිය.
නව පද්ධතිය මඟින් නීතිඥවරුන්ට සහ නඩු පාර්ශ්වකරුවන්ට අධිකරණ ලේඛන විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන අතර, පැය 24 පුරා නඩු හා ඒවාට අදාල අනෙකුත් ලේඛන ගොනු කිරීමේ පහසුකමද ඒ තුළින් සලසා ඇත. ඒ අනුව, ලේඛන ගොනු කිරීමේ කාර්යය සඳහා පමණක් අධිකරණය වෙත භෞතිකව පැමිණීමේ අවශ්‍යතාව අවම වන අතර, කඩදාසි භාවිතය සහ ඒ හා සම්බන්ධ වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීම, භෞතික නඩු වාර්තා ගබඩා කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ අවම කිරීම සහ අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නඩු පිළිබඳ තොරතුරු ලබාදීමේ හැනියාව වැඩිදියුණු කිරීම මෙම පද්ධතිය මඟින් අපේක්ෂා කෙරේ.
මෙම e- courts ව්‍යාපෘතිය යටතේ අධිකරණ කටයුතු තාක්ෂණිකව තවදුරටත් නවීකරණය කිරීමේ පියවරක් ලෙස අධිකරණ කටයුතු වාර්තා කිරීම සඳහා හඬ මඟින් යතුරු ලියනය කිරීමේ පහසුකම්ද (Voice typing) කඩිනමින් හඳුන්වා දීමට නියමිත අතර, නඩු කටයුතුවල සහතික පිටපත් මාර්ගගතව නිකුත් කිරීම ඇතුළු පහසුකම් රාශියක් එක් එක් අධිකරණයන් වෙත ලබාදෙන වෙබ් අඩවි හරහා ලබාදීමට කටයුතු කර ඇත.
මෙම වැඩසටහන සඳහා නීතිඥ ප්‍රජාවේ කැපවීම හා සහයෝගය පිළිඹිබු කරමින් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥවරුන් විසින් කොළඹ දිසා අධිකරණය වෙත පරිගණක යන්ත්‍ර 15 ක් ලබා දීමෙන් ද සිය සහයෝගය පළ කර ඇති අතර, එමඟින් මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ වැදගත්කම මෙන්ම අනාගතයේදී නීතිඥ ප්‍රජාවට සහ පොදු මහජනතාවට මෙමගින් සැලසිය හැකි ප්‍රතිලාභද අවධාරණය කර ඇත.
මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ සෑම අධිකරණයක් වෙතම වෙන් වූ එම අධිකරණයේ නඩු කටයුතු පිළිබඳ තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවියක්, නඩු ගොනු කළමනාකරණ පද්ධතියක් හා විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම් මෙම වසර තුළ දී ලබාදීමට සැලසුම් කර ඇත.
ගරු අගවිනිසුරුවරයා අද දින කොළඹ සුළු හිමිකම් අධිකරණයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මෙම විද්‍යුත් නඩු ගොනු කිරීමට අදාළ කටයුතු නිරීක්ෂණය කරන ලද අතර, මෙම අවස්ථාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම්වරයා හා අනෙකුත් නිලධාරීන් ද, කොළඹ දිසා අධිකරණ ගරු විනිසුරුවරුන් ද සහභාගී විය.
කොළඹ සුළු හිමිකම් අධිකරණයේ විද්‍යුත් පහසුකම් වෙනුවෙන් පරිගණක ලබාදීම ද අගවිනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.


