රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW:
පරම්පරා ගණනාවක් පුරා මෙරට දේශීය වෛද්‍ය උරුමය සංරක්ෂණය කරමින් ජනතා සුවසෙත උදෙසා සුවිශේෂී මෙහෙවරක නිරත වූ ප්‍රධාන පාරම්පරික වෙද පරම්පරා පහක් ‘හෙළ වෙද ආයු ප්‍රසාදනී’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අතර, බස්නාහිර පළාතේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනකු ද සම්මාන හා සහතිකපත් මගින් ඇගයීමට ලක් කෙරිණි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන ප්රදානෝත්සවය ඊයේ (09) පෙරවරුවේ මීගොඩ පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
‘ආයු ප්‍රසාදනී 2026’ ආයුර්වේද අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී පළමු ‘හෙළ වෙද ආයු ප්‍රසාදනී’ ගෞරව සම්මානය අමරතුංග වෙද පරපුර වෙනුවෙන් ක්‍රිමි රාජ ආයතනයේ වත්මන් කළමනාකාර අධ්යක්ෂ මහාචාර්ය සුමනරත්න අමරතුංග මහතා වෙත පිරිනැමිණි.
එමෙන්ම සිරිමල්වත්තේ මාතලේ ගෙදර අභයරාජ වෙද පරම්පරාව වෙනුවෙන් වෛද්යාචාර්ය ඒ. එම්. හීන්නිලමේ වෙද ඇදුරුතුමන්ට ද, වික්‍රමාරච්චි වෙද පරපුර වෙනුවෙන් වෛද්‍ය අනූෂා වික්‍රමාරච්චි මහත්මියට ද, නැදුන්ගමුවේ ධර්මවිජය වෙද පරපුර වෙනුවෙන් වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාට ද, යාලගල වෙද පරපුර වෙනුවෙන් වෛද්‍ය තුසිත ඖෂධරත්න මහතාට ද එම ගෞරව සම්මාන පිරිනමන ලදී.
බස්නාහිර පළාතේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනා ඇගයීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ද විනිවිදභාවයෙන් යුතුව සිදුකර තිබිණි. ඒ සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් 1,500කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, ඒ අතරින් තෝරාගත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකට යොමු කිරීමෙන් අනතුරුව සම්මාන හා සහතිකපත් පිරිනැමීම සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් තෝරාගෙන තිබිණි.

පරම්පරාගතව උරුම වූ වෛද්‍ය දැනුම, දේශීය ඖෂධීය ශාක පිළිබඳ පුළුල් අවබෝධය, ඖෂධ සකස් කිරීමේ ශිල්පීය ක්‍රමවේද සහ දීර්ඝකාලීන ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගනිමින් ජනතා සුවසෙත වෙනුවෙන් කැපවී කටයුතු කරන පාරම්පරික වෛද්‍යවරු මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ අගනා දායකත්වයක් සපයන පිරිසකි. විශේෂයෙන් කැඩුම් බිඳුම් වෙදකම, සර්ප විෂ වෙදකම සහ ඇස් වෙදකම ඇතුළු විශේෂිත ප්‍රතිකාර ක්ෂේත්රයන්හි ඔවුන් සතු දැනුම හා අත්දැකීම් ශ්‍රී ලාංකේය වෛද්‍ය උරුමයේ අනන්‍යතාව සහ විශේෂත්වය මනාව පිළිබිඹු කරයි.
මෙවැනි පරම්පරාගත වෛද්‍ය දැනුම යනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියට පමණක් සීමා වූවක් නොව, ජාතියක ඓතිහාසික වෛද්‍ය අනන්‍යතාව, පරම්පරාගත ඥාන සම්භාරය සහ දේශීය ඖෂධීය උරුමය අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ වටිනාකමක් ද සහිත උරුමයකි. එබැවින් එම දැනුම් සම්භාරය සංරක්ෂණය කිරීම, පාරම්පරික වෛද්‍යවරුන්ගේ වෘත්තීය දායකත්වය ඇගයීම සහ ඔවුන්ට නිසි සමාජීය හා වෘත්තීය පිළිගැනීමක් ලබාදීම දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ අනාගත ප්රගමනය උදෙසා අතිශය වැදගත් වේ.

මෙම අරමුණු තවදුරටත් පුළුල් කරමින් සංවිධානය කර ඇති ‘ආයු ප්‍රසාදනී 2026’ ආයුර්වේද අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය තුළින් දේශීය වෛද්‍ය ක්‍රමවේද, ඖෂධීය ශාක, ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන, නව නිපැයුම් සහ වෛද්‍ය අධ්‍යාපනයට අදාළ දැනුම මහජනතාව වෙත සමීප කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ නියැළෙන වෘත්තිකයන්ට, අධ්‍යාපන ආයතනවලට, පර්යේෂකයන්ට සහ ඖෂධ නිෂ්පාදකයන්ට සිය දැනුම, අත්දැකීම් හා නිෂ්පාදන හුවමාරු කරගැනීමටත්, ක්ෂේත්රයේ නව ප්රවණතා පිළිබඳ අවබෝධය පුළුල් කරගැනීමටත් මෙය වැදගත් වේදිකාවක් සපයයි.
ආයුර්වේද, යුනානි, සිද්ධ සහ පාරම්පරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ 12 වැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (iCAUST 2026) සහ පළමු ආයු ප්‍රසාදනී ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ද මෙම වැඩසටහන් මාලාවට සමගාමීව සංවිධානය කර තිබිණි. “සමස්ත සෞඛ්‍ය ප්‍රවේශයක් සඳහා පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ තිරසාරභාවය සහ නවෝත්පාදනය” (Sustainability and Innovation in Traditional Medicine for Holistic Approach) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පසුගිය දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේදී පැවැත්විණි. එහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සොලිස් හෝටලයේදී පැවැත්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය (Faculty of Indigenous Medicine) සහ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබිණි.



