සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: සෞදි අරාබිය හරහා කාන්තාරය ඔස්සේ රතු මුහුදු වෙරළ දක්වා දිවෙන, එරට ප්‍රධාන නැගෙනහිර–බටහිර තෙල් නළ මාර්ගයට නව ප්‍රහාරයක් එල්ල වී ඇති බව සෞදි අරාබිය වාර්තා කර තිබේ.
සෞදි බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙකුට අනුව, මදීනා (Medina) ප්‍රදේශයේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් නළ මාර්ගයේ සීමිත ගින්නක් හටගෙන ඇති අතර හදිසි ප්‍රතිචාර කණ්ඩායම් විසින් එය නිවා දමා තිබේ.
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති අතර තෙල් ප්‍රවාහන කටයුතුවලට ද බාධාවක් සිදුවී නොමැති බව සෞදි බලධාරීහු තහවුරු කර ඇති අතර ප්‍රහාරය පිටුපස සිටින පාර්ශ්වය කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැත.
දිනකට බොරතෙල් බැරල් මිලියන 4ක් පමණ ප්‍රවාහනය කරන මෙම නල මාර්ගය කිලෝමීටර් 1,200ක් පමණ දිගින් යුක්ත වන අතර මෙම නළ මාර්ගය සෞදි අරාබියේ නැගෙනහිර තෙල් නිෂ්පාදන කලාපයේ සිට රතු මුහුදේ යන්බු (Yanbu) වරාය දක්වා විහිදේ.
විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා තෙල් ප්‍රවාහනයට බාධා ඇතිවී තිබෙන පසුබිමක, මෙම නළ මාර්ගය සෞදි අරාබියට තෙල් අපනයනය කිරීම සඳහා අතිශය වැදගත් විකල්ප මාර්ගයක් බවට පත්ව තිබේ.

