නදීක දයාබණ්ඩාර – මහනුවර
කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයට අයත් දියඇලි රැසක් මේ වන විට ඉතා සුන්දර ලෙස සක්‍රීය වී තිබේ.
පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ පිහිටි මෙම දියඇලි බොහොමයක් මෙලෙස පූර්ණ ලෙස ගලාබසින්නේ අධික වර්ෂාව පවතින කාල සීමාවන්හිදීය.
මහනුවර සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි හුළුගඟ නගර මධ්‍යයෙන් ගලාබසින, උසින් මීටර් 45ක් පමණ වන හුළුගඟ දියඇල්ල මේ දිනවල මනරම් දර්ශනයක් මවමින් පහළට කඩාහැලෙයි.
මීට අමතරව, පන්විල තවලන්තැන්න ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි සාරි ඇල්ල දියඇල්ල උසින් මීටර් 25ක් පමණ වේ. සුදු සේලයක් මෙන් මෙන්ම සුළඟට මීදුම මෙන් විහිදෙමින් ගලාබසින බැවින් මෙම දියඇල්ල “සාරි ඇල්ල” ලෙස හඳුන්වන බව ජනප්රවාදයේ සඳහන් වේ.
එසේම, වත්තේගම – බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න ප්‍රදේශයේ පිහිටි ජෝඩු ඇල්ල උසින් මීටර් 45ක් පමණ වන අතර, එක සමාන දියඇලි දෙකක් ලෙස කඩාහැලෙන බැවින් ඊට “ජෝඩු ඇල්ල” යන නාමය පටබැඳී ඇත.




