කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව ඇති බව එම නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට නිල නිවස නිකුත් කිරීමේදී සිදුව ඇති බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම නිල නිවසේ කළමනාකාරවරයාගෙන් පෙරේදා (28) දිනයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී ය. එහිදී කොමිසමේ නිලධාරීන් අදාළ කළමනාකරුගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

බඩු වට්ටෝරු පොත භාරව සිටි කථානායක පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියා ළඟ එම පොත නොමැති යැයි තමාට දැනුම් දුන් බවත්, ඒ අනුව එම පොත අතුරුදන්ව ඇති බවත් එහිදී කළමනාකරු කොමිසමට පවසා ඇත.

කථානායක නිල නිවසේ සේවක ලේඛන, විදුලි, ජල හා අනෙකුත් ගෙවීම් වාර්තා ද කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසම පාර්ලිමේන්තු පාලන අංශය වෙත නියෝග කර තිබිණ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශනය සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මෙම නිල නිවසේ ඇතැම් භාණ්ඩ තමන් මේ වනවිට පදිංචිව සිටින වෙනත් නිල නිවාසයකට රැගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි. ජගත් වික්‍රමරත්නට තවත් විෂමාචාර චෝදනා ගණනාවක්ම එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ද විපක්ෂය මේ වනවිට කටයුතු කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...