සටහන – රුවන් නෙළුගොල්ල
දේශීය ඉන්ධන මිල ගණන් වැඩි කළත් ලෝක වෙළඳපොලේ තත්වයන්ට සාපේක්ෂව බලද්දී තවමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු සිදුවන බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පවසයි.
“ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළයාම ගැන බලද්දී පෙට්‍රල් ගත්තොත් පළවෙනි රැල්ලට වඩා මේ වෙද්දී තමයි මිල ඉහළම මට්ටමට ගිහින් තියෙන්නේ. ඒකෙ ගණන් කිව්වොත් – අපිට පෙරබරවාරි මාසෙ තමයි මිල බේස් එක හැටියට ගන්න වෙන්නෙ – පෙබරවාරි මාසෙ පෙට්‍රල් බැරල් එකක් ලෝක වෙළඳපොලේ තිබුණෙ ඩොලර් 75ට. පහුගිය මාසෙ ඇවරේජ් වුණේ 136ට. 80%ක වැඩිවීමක්. ඩීසල් ගත්තොතින් බැරල් එක ඩොලර් 88ට තිබුණේ. ඒක ගිය මාසෙ ඇවරේජ් වුණේ 170ට. 91%ක වැඩිවීමක්. බොරතෙලුත් ඒ විදිහමයි. අපි ගන්නෙ මර්බන් කෲඩ් එක. යුද්ධෙ පටන් ගන්න ඉස්සෙල්ලා 69ට තිබිච්ච එක දැන් 115 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒක 66%ක වැඩිවීමක්. ඔන්න ඕක තමයි තෙල් මිල වැඩිකරන්න ප්‍රධාන හේතුව වුණේ.
අපේ දේශීය වෙළඳපොල ගත්තොත් ඩීසල් 91%කින් වැඩිවුණාට පෙබරවාරිවලට සාපේක්ෂව මේ වෙනකොට අපි ඩීසල් වැඩිකරලා තියෙන්නෙ 39.5%කින්. පෙට්‍රල් 80%කින් වැඩිවුණාට ඊයෙ වැඩිකළාට පස්සේත් අපේ වැඩිවීම තියෙන්නෙ 41.3%යි. මේ ප්‍රමාණය කළමනාකරණය කරගන්නෙ රුපියල් 70ක් තීන්දු කළා ඩීසල් ලීටරයකට දෙන්න, නමුත් පෙට්‍රල්වලට සහනාධාරයක් දෙන්නෙ නැහැ.
මේ වෙනකොට ඩීසල් ලීටරයක් ලෝක වෙළඳපොලේ මිලට ගලප්පලා ගත්තොතින් අපිට කොස්ට් වෙලා තියෙනවා රුපියල් 528ක්. නමුත් 392කට තමයි විකුණන්නෙ. එතකොට 136ක් පාඩුවෙනවා. ඒකෙන් 70ක් ආණ්ඩුව ගෙවනවා. එතකොට තෙල් සංස්ථාවට රුපියල් 66ක් පාඩුයි. පෙට්‍රල් ගත්තොත් පෙට්‍රල් ලීටරයක් 466ක් වෙනවා. විකුණන්නෙ 414කට. එතකොට තෙල් සංස්ථාවට රුපියල් 52ක පාඩුවක් වෙනවා”
තෙල් සංස්ථා සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


