සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කිරීමට සෘජු විදේශ ආයෝජන (FDI) බොහෝ සේ වැදගත් වන නමුත් 2025 සෘජු විදේශ ආයෝජන දෙස බලන විට රටක් ලෙස දුර්වල තැනක සිටින බවත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව අප රටේ ආර්ථික පරිසරය සම්බන්ධ නිකුත් කළ වාර්තාව තුළින් කරුණු සහිතව ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටක් ලෙස අප රටේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2025 දී ඩොලර් බිලියන 1.044ක් ලෙස ඇස්තමේන්තු කළ විට ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් ප්‍රමාණය මෙන් ආසන්න වශයෙන් 1.7ක් බංග්ලාදේශයට, 1.8ක් පාකිස්ථානයට, 14.7ක් මැලේෂියාවට, තායිලන්තයට 18.3ක්, වියට්නාමයට 19.5ක්, ඉන්දුනීසියාවට 20.5ක් සහ ඉන්දියාවට 37.3ක් ලැබී ඇති බවත් මේ තුළින් අප රටේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය දුර්වල මට්ටමක ඇතැයි පෙන්නුම් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙසේ සෘජු විදේශ ආයෝජන අඩුවීමට හේතු ලෙස නීතිමය වශයෙන් ඇති අවිනිශ්චිතතා, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නිසි නිලධාරී ප්‍රතිචාර නොලැබීම, තෝරා ගත් විනිවිදභාවී ක්‍රමයක් නිර්මාණය වීම නිසා වගකීම හා වගවීම පිළිබඳ ගැටලු, රෙගුලාසි ස්ථායිතාවක් නොමැති වීම යන ගැටලු නිසා ආයෝජකයන් රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආයෝජන මණ්ඩලය කරන්නෙත් සෘජු විදේශ ආයෝජන අධෛර්මත් කරන එක

අප රටේ ආයෝජන මණ්ඩලය යනු ආයෝජන අනුමැතිය ලබා ගත හැකි One stop shop සහිත ආයතනයක් ලෙස හැඳින්වුවත් ආයෝජන මණ්ඩලයේ ඇත්තම තත්ත්වය වන්නේ One block shop ක්‍රමය බවත් ආයෝජනවලට එක කවුලුවක් තුළින් පහසුකම් සපයනවා වෙනුවට ආයෝජන නතර කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් මේ නිසා රටේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයක් නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රණසිංහ ප්‍රේමදාස මහතා ආයෝජකයන් ආකර්ෂණය කර ගත් ආකාරය අධ්‍යයනය කරන්න

එබැවින් නිලධාරී වාදය බැහැර කර, අනවශ්‍ය රෙගුලාසි ඉවත් කර සෘජු විදේශ ආයෝජන සඳහා ලෝකයේ ඇති ආකර්ෂණීයම ගමනාන්තය බවට රට පත් කිරීමට සෑම අතකින්ම ආයෝජන හිතකාරී පරිසරයක් නිර්මාණය කර ආයෝජන ප්‍රවර්ධනයට මුල්තැන දිය යුතු බවත් රටේ අභ්‍යන්තර යුද්ධ 02ක් සහ මැදපෙරදිග යුද්ධයක් ඇති කාලයේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් රටට ආයෝජන ආකර්ෂණය කර ගත් ආකාරය කදිම උදාහරණයක් බවත් එදා අභියෝග මැද පවා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරමින් ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ට රැකියා පවා දුන් බවත් එය ආදර්ශයට ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

දැන්වත් සෘජු විදේශ ආයෝජන අඩු වීමේ ගැටලුවලට විසදුම් ලබා දිය යුතුයි

අද වන විට ආයෝජන මණ්ඩලය පවා ආයෝජන රට අතහැර යන තැනට පත් කර ඇති බවත් මෙය ප්‍රතිගාමී ආයෝජන ප්‍රතිපත්තියක් බවත් දැන්වත් මේ ගැටලු මගහරවා ගෙන සෘජු විදේශ ආයෝජනවලට රටේ ඇති සියලු බාධා ඉවත් කර ජනාධිපතිවරයා ප්‍රමුඛ කාර්ය සාධක බලකායක් පත් කර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...