සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා, ඔහුගේ Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් ඉස්ලාමාබාද් අගනුවර වෙත පාගමනක් ආරම්භ කර තිබේ.
ඔක්තෝබර් 4 වැනිදා වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ලක්කි මර්වාට් ප්‍රදේශයෙන් පාගමන ආරම්භ වී ඇති අතර, වාර්තා අනුව පුද්ගලයන් 5,000කට වැඩි පිරිසක් ඊට එක්ව තිබේ.
පාගමනට PTI පක්ෂයේ මහ ඇමති සොහෙල් අෆ්රිඩි නායකත්වය ලබා දෙන අතර ඉම්රාන් ඛාන් නිදහස් කිරීම, ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට අවස්ථාව ලබාදීම ඇතුළු ඉල්ලීම් විරෝධතාකරුවන් ඉදිරිපත් කර තිබේ.
පාගමන නතර කිරීම සම්බන්ධයෙන් PTI පක්ෂය සහ අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර ඉස්ලාමාබාද් වෙත ඇතුළුවීම වැළැක්වීම සඳහා බලධාරීන් මාර්ග කිහිපයක කන්ටේනර් යොදා මාර්ග බාධක ද ස්ථාපිත කර තිබේ. කෙසේ නමුත්, PTI පක්ෂය සඳහන් කර ඇත්තේ පාගමන ඉදිරියට ගෙන යන බවයි.
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටී. ඔහුට රාජ්‍ය තෑගි සම්බන්ධ නඩු, දූෂණ චෝදනා සහ 2023 මැයි විරෝධතා සම්බන්ධ නඩු ඇතුළු නීතිමය නඩු ගණනාවකට මුහුණ දී සිටින අතර ඔහු සහ ඔහුගේ Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂය චෝදනා කිහිපයක් දේශපාලන අරමුණු සහිත බව පවසති.

