මහේෂ් හපුගොඩ
භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන ගෞරවය එක්ක ගත්තම ගලගොඩ අත්තේ ස්වාමීන් වහන්සේගේ මේ ඡායාරූපය ක්ෂිතිමය එකක්. භික්ෂූ චීවරයේ ඉඳල එකවරම සුදු ඇඳුමින් හෝ ජම්පරයෙන් දැක්කම ‘අනේ අපොයි’ කියන එක අපිට හිතට එන දෙයක්. ගොඩක් බුකියේ ප්‍රතිචාර දැක්කමත් ඒක සනාථ වෙනවා. මේක සිංහල බෞද්ධ ප්‍රජාව පැත්තෙන් වෙනම මාතෘකාවක් වෙන්නත් පුළුවන් දෙයක්.
මට පවා මේ දසුන තරමක් අවුල් දෙයක්. හැබැයි…
උන් වහන්සේ චීවරය දරන කාලේ හිතන්න තිබ්බ දෙයක් තමයි තමන් චීවරයට අගෞරවයක් නොවන විදියට ඉන්නවා කියන එක. මට මතකයි බොදු බල සේනා ඉතාම ජනප්‍රිය කාලේ උන්වහන්සේ හිටියේ තමන්ට උඩින් වෙන කිසිවෙක් නැහැ කියන ගානට. ඒ වෙලාවේ මහින්දලගේ හයියත් ඒකට පාවිච්චි උනා.
අද ඒ ස්වාමීන් වහන්සේ කියනවා කිසිම ආණ්ඩුවක් මගේ සිවුරට අත තිබ්බේ නැහැ කියල. හැබැයි අර චන්ඩියෙක් වගේ දඟලපු කාලේ හිතන්න තිබ්බ යම් දවසක යම් මොහොතක මම මේ යන විදියට ගියොත් යම්කිසි කෙනෙක් මගේ සිවුර පවා ගලවනවා කියන එක. ඒක ඒ වෙලාවේ උන්වහන්සේගේ සිවුරෙම ලියවිල තිබ්බ. ඒ කියන්නේ අන්තිමට ඒ ‘අවසන් තැනටම’ අරන් එනවා තමන් යන ගමනේ ස්වභාවය විසින්.
ඒ හයියෙන් තමයි අධිකරණයේ පවා සද්ද දාන්නේ. සිවුරේ හයියෙන්. අවසානයට ඒකම – ඒ සංකේතයම – ඒ ස්වාමීන් වහන්සේට අහිමි වෙනවා.
හැමදාම සිවුර තිබ්බ කියල ‘ඕනෑම දෙයක්’ කරන්න බැහැ. අපි නීතියට සහ ස්වභාව ධර්මයට යටත්. යම් දේශපාලනයක් කරනකොට ඒ දේශපාලනය නිසා ඇතිවෙන්න පුළුවන් අනික් මිනිස්සුන්ගේ වේදනාව ගැනත් හිතන්න ඕනි.
බොදු බල සේනා එකේ ඩිෆෙන්ඩර් පෙරහැර මතක තියෙන කෙනෙක්ට සිහිවෙන්න ඕනි සිංහල අපිට පවා බය හිතෙන දේශපාලනයක් එතන තිබ්බ. සුළු ජාතීන් ගැන කුමන කතාද…
මේ ස්වාමීන් වහන්සේ හිතුවේ නැහැ මේ තැනට එයා වැටෙයි කියල. මහා බලසම්පන්න ‘සිවුර’ නැතිවෙයි කියල. හැබැයි ඒක ඒ වෙලාවේ සිවුරේ ලියවිලා තිබ්බ….
සිවුර තියෙන එකේ දේශපාලනයක් තියනවා වගේම සිවුර ගලවන එකෙත් දේශපාලනයක් තියනවා.


