කොළඹ LNW:‘සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාව මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝග කළේය.
මෙකී නඩුකරයට අදාළව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම්ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඔහුව ඇප මත නිදහස් විය.
කෙසේවෙතත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ සිය සේවදායිකාව පසුවන අවධානම් තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් ඇප අයැදුම ඉදිරිපත් කර තිබුණි.
”ස්වාමිනි, ‘සිරිලිය සවිය’ කියන්නේ 2006 වසරේ සිටම සුබසාධක වැඩවල නිරතවුණු රජයේ අනුමත සුබසාධක සංවිධානයක්.ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔවුන්ගේ ප්‍රජා සත්කාර සඳහා පවතින මුදල් තමයි ‘සිරිලිය සවිය’ ගිණුමට බැර කරලා තියෙන්නේ. අපි නැහැ කියන්නේ නැහැ. අදත් ඔය මුදල් ඔය කියන සුදුවැල්ල ශාඛාවේ ගිණුමේ තියෙනවා.
මොකද අපිට CT ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට රුපියල් මිලියන 160ක මුදලක් අවශ්‍ය වුණාට 2014 වෙද්දිත් අපිට එකතුවෙලා තිබුණේ මිලියන 42යි. 2014 දී ආණ්ඩු පෙරලුනා විතරයි ඔය කියන පැමිණිල්ල ලැබුණාම අපේ ගිණුම තහනම් වුණා.
ඉතිං ස්වාමිනි දූෂණයක් වුණේ නැහැ. මොකද ගිණුම තහනම් කරපුවාම මුදල් එකතු වෙන එක නැවැතුණා. රුපියල් මිලියන 160ක CT ස්කෑන් යන්ත්‍රය මිලියන 42කට ගන්න බැරි නිසයි අපිට එම යන්ත්‍රය ගන්න බැරිවුණේ. නැතුව මෙතන කිසිම වරදක්වෙලා නැහැ.
ගිණුමේ තහනම ඉවත් වුණා නම් අදටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ඕනේ නම් ඔය මුදල ගන්න පුළුවන්. අවාසනාවකට රාජපක්ෂ කෙනෙක් නිසා මේ තත්ත්වය උදාවෙලා.
මගේ සේවාදායකයා අදත් මේ අධිකරණයට ඇවිල්ලා ඉන්නේ අක්ෂි ශල්‍යකර්මයකට භාජනයවෙලා. එහෙම කෙනෙක්ව බන්ධනාගාරයේ නවත්වන්න පුළුවන්ද. එහෙම වුණොත් මගේ සේවාදායකයා සදාකාලිකව අන්ධ වෙනවා. ඇයට අවුරුදු 73ක්. 2019 සිට මැය හෘද රෝගී තැනැත්තියක්.
2021 වසරේ ඇයගේ මොළයේ කරපු පරීක්ෂණයකින් අනාවරණය වුණා එහිද රෝගී තත්ත්වයක් පවතින බව. පිටකොන්දේ කොදුඇට පෙළෙහිද ආබාධ තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වය තුළ ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ බරපතළ ජීවිත අවදානමක් ඇතිවෙන්න පුලුවන්.”
කෙසේවෙතත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහ විත්තිකාර පාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය ශිරන්ති රාජපක්ෂ මහත්මියව එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරන ලදී.




ජායාරූප අජිත් සෙනෙවිරත්න


