රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
බන්ධනාගාරගත කෙරෙන සහ ඉන් බැහැරට ගෙන යනු ලබන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින වත්මන් නීති රීති සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.
මහා සංඝරත්නය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූයේ, 1877 බන්ධනාගාර ආඥා පනත සහ ඒ ආශ්‍රිත රෙගුලාසි මූලික වශයෙන් පොදු සිරකරුවන් ඉලක්ක කර සකස් කර ඇති බවයි.
බන්ධනාගාර නිලධාරීන් මෙහිදී කටයුතු කර ඇත්තේ පවතින නීත්‍යානුකූල රාමුව තුළ වුවද, භික්ෂූන් වහන්සේලා සිවුරු ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සමාජය තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති බව ජනාධිපතිවරයා පිළිගත්තේය.
තනි පුද්ගලයන් වෙනුවෙන් පුද්ගලික අභිමතය පරිදි නියෝග ලබා දෙනවා වෙනුවට, නීතිය කාලයට උචිත නවීකරණය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, සති දෙකක් ඇතුළත මෙම ගැටළුව අධ්‍යයනය කර මහා සංඝරත්නයේ අදහස් ද ලබා ගනිමින්, කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවී සමස්ත පද්ධතියටම ගැළපෙන අයුරින් නව නීති රීති සැකසීමට නියමිතය.
මෙම කඩිනම් සහ සංවේදී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රැස්ව සිටි මහා නායක හිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය සහ කෘතඥතාව පළ කළහ.
මෙහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“වර්තමානයේ අපේ බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත මගිනුයි. එම පනත විටින් විට සංශෝධනය වී තිබෙනවා. එම පනතේ 94වන වගන්තියෙන් අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබෙන අතර, 2022 වසරේදීම එම රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම, බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව නිත්‍ය නියෝග පැනවීමට බන්ධනාගාර කොමසාරිස්තුමාට බලය තිබෙනවා.
ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනතකින්, ඇමතිවරයා පණවන රෙගුලාසිවලින් සහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා පනවන නිත්‍ය නියෝග මගිනුයි
මෙහිදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට, අවධානය යොමු කර තිබෙන්නේ පොදු සිරකරුවන් පිළිබඳවයි. 216වන රෙගුලාසි වගන්තියේ පමණයි විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන සඳහන් වන්නේ.
එමනිසා මේ නීති සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලා හෝ අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන විශේෂ රෙගුලාසි සකස් වී නැහැ. පොදු සිරකරුවන් පිළිබඳ තමයි සෑම විටම අවධානය යොමු කර තිබෙන්නේ.
බන්ධනාගාරයට එන පිරිස් ආකාර දෙකකට ඉන්නවා. එකක් තමයි රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය; එනම් අධිකරණයකින් වැරදිකරු වී දඬුවම් නොලැබූ අයයි. රිමාන්ඩ් භාරයේ සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.
හැබැයි අධිකරණයෙන් වරදකරු වී සිරකරුවන් බවට පත් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. එහිදී බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ලෙස ආකාර දෙකක් තිබෙනවා. ලිහිල් වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාව මත ඇඳුමක් තෝරාගැනීමට පුළුවන් වුවත්, බරපතල වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාරයෙන් ලබා දෙන නියමිත ඇඳුම භාවිතා කළ යුතුයි.මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ එම නීතියට අනුවයි.
ඒ අනුව මහානායක හාමුදුරුවන් වහන්සේලා යොමු කළ ලිපිය අනුව ප්‍රශ්නය පැන නගින්නේ සිරගතව සිටින ආකාරයට වඩා, උන්වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන එන අවස්ථාවලදීයි.
අධිකරණ කටයුතු සඳහා පමණක් නොව බන්ධනාගාරයෙන් බැහැර වන සෑම අවස්ථාවකදීම අපි එය සැලකිල්ලට භාජනය කළ යුතුයි. මොකද බන්ධනාගාරය ඇතුළත විවෘත නැති ස්ථානයක් වුවත්, බැහැරට රැගෙන එන විට මාධ්‍යයට සහ පොදු ජනතාවට නිරාවරණය වීමට පටන් ගන්නවා.
මේ අයව බැහැරට රැගෙන ඒමේදී පැවති ක්‍රියාපටිපාටිය තමයි අනුගමනය කර තිබෙන්නේ. මීට පෙරත්, දැනට සිටින 63 නම පිළිබඳ මම විමසා බැලුවා ඇතැම් භික්ෂුන්වහන්සේලා එක් වරදකට සිරදඬුවම් ලබන අතරතුර වෙනත් නඩුවලට සම්බන්ධ නම් අධිකරණයට කැඳවීමට සිදු වෙනවා.දැනට සිරගතව සිටින ඇතැම් හිමිවරුන් වෙනත් නඩුවලට අධිකරණයට පමුණුවා ඇත්තේද සිවුර දරාගෙන නොවෙයි.
බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ දැනට පවතින නීති සහ රීති පද්ධතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කර වැඩක් නැහැ.
ඊයේ දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව මම පිළිගන්නවා. හැබැයි සිදු වු ක්‍රියාදාමය මෙයයි.
නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර ඓතිහාසික දේවල් නෙවෙයි; නීති නිතරම සංශෝධනය වෙනවා. එසේ නොමැතිව අපේ හාමුදුරුවනේ, මම කැමති නැහැ නීති එසේ තිබියදී, මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක, ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සාමාන්‍ය දේශපාලනයේදී “නීතිය යනු පාලකයාගේ කැමැත්තය” කීවත්, මාගේ කැමැත්ත නීතිය බවට පත් කරගැනීමට මම කිසිසේත්ම කැමති නැහැ.
නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම මිස, අපේ කැමැත්ත මත නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි. ඒ නිසා මේ තිබෙන රෙගුලාසි සහ බන්ධනාගාර නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතුයි. මෙවැනි සංවාදයකදී තමයි මෙවැනි කරුණු මතු වන්නේ. හැම විටම මේ නීති සකස් කර තිබෙන්නේ පොදු තත්ත්වයකදී මිස භික්ෂුන් වහන්සේ උදෙසා විශේෂ රෙගුලාසි අඩුයි.
භික්ෂුන් වහන්සේ සිරගතවනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රොගුලාසි ඇතුළත් කරන්න නැතිව ඇති. හැබැයි දැන් සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී සිටින බව පෙනෙන්නට තිබෙනවා.එම නිසා, බන්ධනාගාර ගත වූ විට රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නව රීති සම්පාදනය කරගත යුතුයි.එය එක් හිමිනමක් ඉලක්ක කරගෙන නොව පොදුවේ පද්ධතියටම අදාළ විය යුතුයැයි” ජනාධිපතිවරයා කියා සිටියේය.


