සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට චෝදනා කරමින් යුක්‍රේනයට නව ජනාධිපතිවරයෙකු අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඊයේ(10) දිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ඩීසල් ඉන්ධන ගනුදෙනුවක් පිළිබඳ එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව සමඟ සාම ගිවිසුමකට එළඹීමට සෙලෙන්ස්කිට අවස්ථා රැසක් තිබූ නමුත්, ඔහු ඒ සඳහා ක්‍රියා නොකළ බව ට්‍රම්ප් චෝදනා කර තිබූ අතර යුක්‍රේනයේ නායකත්වය වෙනස් වී රුසියාව සමඟ එකඟතාවකට පැමිණිය හැකි නායකයෙකු පත්විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත.
රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට යුක්‍රේනය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමට බලපෑම් ඇති වී තිබෙන බව ද ට්‍රම්ප් පවසා තිබේ. ඇමරිකාවේ ඩීසල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද ඔහු යුක්‍රේනයේ ක්‍රියාමාර්ග විවේචනය කර ඇත.
මේ අතර, රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීමට සහ ඒ සඳහා පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට අදාළ එකඟතාව පිළිබඳව යුක්‍රේන ජනාධිපතිවරයා විරෝධය පළ කර තිබූ අතර එමඟින් රුසියාවට ලැබෙන අමතර ආදායම යුද්ධය පවත්වාගෙන යාමට යොදාගත හැකි බව සෙලෙන්ස්කි සඳහන් කර තිබිනි.
කෙසේ නමුත් ජනාධිපති ට්‍ර්ම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යුක්‍රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා ද ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, යුක්‍රේනයේ නායකයා තෝරා ගැනීමේ අයිතිය එරට ජනතාව සතු බවයි.

