සති මැද්දේ දවසක
අම්මා මතක් උනා කියමින්
දුව ආවාය ගෙදරට…
මාළු ඇඹුල් තියලක්
අල බැදුමක්
කජු මාළුවක් සමග
අනා කැව්වෙමි බත් කටවල්
අර ළමයටත් ගෙනියන්න
බඳින්නං මම බත් එකක් කිව්වාම
එයා රෑ වැඩ
කීවාය දුව බිම බලාගෙන
“එහෙනං පුතේ ඔයා අද මෙහෙ ඉන්න”
මනමාලියක් වෙලා ඉගිළෙන්න පෙර කුලගෙයට
දූගේ දෑස්වල තිබූ පැහැය
ආයෙමත් දැක්කා ඒවෙලේ මම
දූ ඇවිත් සති හයක් ගෙදරට
මගෙ හිතේ බෑණා තාම රෑ වැඩ
දූලා නික්ම ගියපසුත් කූඩුවක් හදාගෙන
කාටවත් දෙන්නෙපා දූ හිටපු කාමරය
කවදහරි දවසක
වේදනා කඳු කුඩු කරන්නට හිතුනොත්
දූට ඕනෑ ඒ හිටපු කාමරය
~ තනූජා ලුම්බිණී


