PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත (POCA) යන පනත් දෙකම ඒකාධිපති ආඥාදායක එක පක්ෂයකට මුළු රටම යට කරන, ලක්ෂ 220ක් ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට උත්සාහ දරණ නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රජය විසින් ගෙන ඒමට නියමිත මර්දන පනත් සම්බන්ධයෙන් ඊයේ (31) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී වෘත්තීය සමිති සමග කරන ලද සාකච්ඡාවකදී ය.

කාම්බෝජයේ පොල්පොට් පාලනය අප රටේ ක්‍රියාත්මක කිරීමට මේ අණපනත් ගෙන එන බවත් මේ අණපනත් දෙක තුළින් රටේ ඒකාධිපතීත්වය ස්ථාපිත කරන්න හදන්නේ රටේ අණපනත් හරහා බවත් මෙය ව්‍යවස්ථානුකූල මර්දන ක්‍රියාවක් බවත් රටේ නීතිපොතට ඇතුළු වන නීතිරීති හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමූළ ඝාතනය කිරීමට මොවුන් උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බැටන් පොල්ලෙන් කළ මර්දනය පනත් හරහා කරන්න හදනවා

මීට පෙර බැටන් පොල්ලෙන් කදුලු ගෑස්වලින් වෙඩි ප්‍රහාරවලින් ක්‍රියාත්මක කළ මර්දනය අද ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදු කිරීමට යන බවත් මේ නිසා සිවිල් පුරවැසියා දේශපාලනඥයන් වෘත්තීය සමිති සාමාජිකයා ඇතුළු ලක්ෂ 220ම අනාථ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා රටේ පුරවැසියන්ගේ මානව හා මූලික අයිතිය සුරක්ෂිත කරන්නට ප්‍රධාන විපක්ෂය ලෙස ගත යුතු පියවර ගන්නා බවත් සඳහන් කළේය.

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක්

මේ පනත් තුළින් අධිකරණය පවා හෑල්ලුවට ලක් කරන බවත් අධිකරණය සතු බලය අධිකරණයෙන් ඉවත් කර එහි බලය විධායකයට ලබා දී ත්‍රස්තවාදියා කවුද යන්න නිර්වචනය කරන්නට අයිතිය දී ඇති බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ විරුද්ධ මතයක් දරන සැවොම ත්‍රස්තවාදීන් ලෙස අර්ථකතනය කිරීමේ බලය මෙයින් ලැබෙන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යුද ජයග්‍රහනයෙන් පසු අනීතිකව ක්‍රියාත්මක කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතා පරමාධිපත්‍ය ජනතා ස්වෛරීත්වය විනාශ කළ නිසා බහුතර යෝජනාව වූයේ එය ඉවත් කළයුතුය යනුවෙන් බවත් සිහිපත් කළේය.

රජයේ මර්දන පනත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා දරුණුයි

ත්‍රසත්වාදය වැළැක්වීමේ පනත අදටත් ඇති නමුත් එය අහෝසි කර ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගෙනවිත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමේ ක්‍රමවේදවලින් එහාට ගොස් ජනතාව මර්දනය කරන්න උත්සාහ කරන බවත් අනුර කුමාර දිසානායක රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල පනතක් ගෙන එන බව පැවසුවත් අද එය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය මේ කරන්නේ ජනවරමට විරුද්ධ දෙයක්

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අවශ්‍ය වුවත් ඒ නාමයෙන් ලක්ෂ 220ක් ජනතාවගේ මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කාටවත් අයිතියක් නොමැති බවත් මෙය ජනවරමට විරුද්ධ දෙයක් බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කිව්වත් අද පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නොමැති වුවත් ජනතාවට වඩා රජයේ 159ට නම් පොහොසත් වීමක් ලස්සන වීමක් නම් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...