EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

අවාසිදායක කොන්දේසි ප්‍රතික්ෂේප වෙයි – බලශක්ති ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය සුරක්ෂිත කිරීමට දේශීය හිමිකාරිත්වය සහිත සපුගස්කන්ද පිරිපහදුව ව්‍යාප්ත කිරීමට සහාය පළ කරයි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් සලකුණු කරමින්, යෝජිත සිනොපෙක් (SINOPEC) තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව (CANC) නිර්දේශ කර ඇත.

රටේ ආර්ථික ස්වෛරීභාවය සුරැකීම, විදේශීය බලවතුන් මත යැපීම අවම කිරීම සහ දිගුකාලීන බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙයට හේතුව ලෙස පෙන්වා දී තිබේ.

මෙම යෝජිත ගිවිසුමෙහි ශ්‍රී ලංකාවට අතිශයින්ම අවාසිදායක කොන්දේසි ඇතුළත් වී ඇති බවත්, එමඟින් දශක ගණනාවක් පුරා රටේ ජාතික අභිලාෂයන් සහ සුභසිද්ධිය අනතුරේ වැටීමේ හැකියාවක් පවතින බවත් කමිටුව නිගමනය කළේය.

දේශීය ඉන්ධන වෙළඳපොළ ආරක්ෂා කර ගැනීම

මෙහි දී මතු වූ වඩාත්ම බරපතල ගැටලුවක් වූයේ, ශ්‍රී ලංකාවේ දේශීය ඉන්ධන වෙළඳපොළට ප්‍රවේශය ලබා ගැනීමට සිනොපෙක් සමාගම දැක්වූ තදබල උනන්දුවයි. ඒ යටතේ තමන් පිරිපහදු කරන පෙට්‍රෝලියම් නිෂ්පාදනවලින් 40% ක් දක්වා ප්‍රමාණයක් දේශීය පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමේ අයිතිය ඔවුන් ඉල්ලා සිටියේය.

මෙවැනි එකඟතාවයක් හරහා අමතර ඉන්ධන තොග දේශීය වෙළඳපොළට ගලා ඒමෙන්, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මූල්‍යමය පැවැත්මට හානි සිදු විය හැකි බවත්, මූලෝපායික වශයෙන් වැදගත් බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි රට සතු පාලනය බුරුල් විය හැකි බවත් කමිටුව නිගමනය කළේය.

අධික බදු සහන ප්‍රතික්ෂේප කිරීම

තවත් ප්‍රධාන ගැටලුවක් වූයේ වසර 35 ක කාලයක් සඳහා ආයතනික ආදායම් බදු නිදහස් කිරීමක් සහ තවත් පුළුල් බදු සහන රැසක් ලබා දෙන ලෙස සිනොපෙක් සමාගම කළ ඉල්ලීමයි.

මෙම සහන ලබා දීම මඟින් ඉදිරියේදී ශ්‍රී ලංකා රජයට හිමිවීමට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායමක් අහිමි වී යාමේ අවදානමක් පැවති අතර, මෙම යෝජිත ආයෝජනයෙන් රටට සහ එහි ජනතාවට ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභයක් ලැබේද යන්න පිළිබඳවද මූලික ප්‍රශ්න මතු විය.

විදේශීය ආයෝජන මඟින් ශ්‍රී ලාංකික ජනතාව මත අසමබර දිගුකාලීන මූල්‍යමය කැපකිරීම් පැටවීම වෙනුවට, ඒවා සැමවිටම ජාතික අභිලාෂයන්ට සේවය කළ යුතුය යන මූලධර්මය කමිටුවේ මෙම තීරණය මඟින් නැවතත් තහවුරු කරයි.

බරපතල පාරිසරික ගැටලු

මෙහිදී පාරිසරික ආරක්ෂණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද තීරණාත්මක ගැටලු මතු විය.

එක්රැස් වූ කරුණුවලට අනුව, සිනොපෙක් සමාගම පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් (Environmental Impact Study) ලබා දීම දිගින් දිගටම මඟහැර සිටි අතර, කරදිය විලවනය කිරීමේ (මුහුදු වතුර ලුණු ඉවත් කර පිරිසිදු කිරීමේ) බලාගාරයක් පිහිටුවීම ඇතුළු පාරිසරික බලපෑම් අවම කිරීමේ ප්‍රමාණවත් පියවරයන් ඇතුළත් කිරීමට ද අපොහොසත් විය.

මෙවැනි විශාල පරිමාණයේ ආයෝජනයකදී පාරිසරික වගකීම යනු මඟහැරිය හැකි කරුණක් නොවේ. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ තිරසාර කාර්මික සංවර්ධනයක් තහවුරු කිරීම ඕනෑම ප්‍රධාන පිරිපහදු ව්‍යාපෘතියක අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස පැවතිය යුතුය.

ශ්‍රී ලංකාව සතු විකල්පය: සපුගස්කන්ද පිරිපහදුව ව්‍යාප්ත කිරීම

විදේශීය යැපීම් තවදුරටත් වැඩි කරන අවාසිදායක කොන්දේසිවලට එකඟ වනවා වෙනුවට, ශ්‍රී ලංකාව සතු දැනට පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජාතික හිමිකාරිත්වය සහ මෙහෙයුම් යටතේ ව්‍යාප්ත කිරීමට CANC කමිටුව සහාය පළ කරයි.

මෙවැනි පියවරක් මඟින් දේශීය පිරිපහදු ධාරිතාව ශක්තිමත් වන අතර, ආනයනික පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදන මත යැපීම අඩුවී, පෙට්‍රෝලියම් අගය එකතු කිරීමේ දාමයේ වැඩි පංගුවක් ශ්‍රී ලංකාව තුළම රඳවා ගැනීමට උපකාරී වේ.

ජාතික පාලනය යටතේ පවතින විශාල පිරිපහදුවක් මඟින් බලශක්ති ආනයන වියදම් අඩු කර ගැනීමටත්, රජයේ ආදායම වැඩි කර ගැනීමටත්, ආර්ථික ස්වෛරීභාවය තහවුරු කිරීමටත්, සිය මූලෝපායික බලශක්ති යටිතල පහසුකම් කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව සතු හැකියාව පිළිබඳ ජාතික අභිමානය නැවත ස්ථාපිත කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාව හමුවේ ඇති තීරණාත්මක තේරීම

සිනොපෙක් ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට දුන් මෙම නිර්දේශය මඟින් සන්නිවේදනය වන්නේ, වාණිජමය වශයෙන් අවාසිදායක එකඟතාවන්ට වඩා ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජාතික අභිලාෂයන්ට මුල් තැන දිය යුතු බවට කෙරුණු තීරණාත්මක ප්‍රකාශනයකි.

දැන් තේරීම පැහැදිලිය: විදේශීය පාලනය යටතේ පවතින බලශක්ති යටිතල පහසුකම් මත තවදුරටත් යැපෙනවා ද, නැතහොත් ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව, ආර්ථික ස්වෛරීභාවය සහ අනාගත සමෘද්ධිය සුරැකිය හැකි ජාතික හිමිකාරිත්වය සහිත ශක්තිමත් පිරිපහදු කර්මාන්තයක් ගොඩනඟනවා ද යන්නයි.

සපුගස්කන්ද පිරිපහදුව ව්‍යාප්ත කිරීමට සහාය දීම හරහා, CANC කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් සහ සුභසිද්ධිය එහි බලශක්ති අනාගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...