රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද ( නොවැම්බර් 3 වනදා ) දින ඇන්ටිගුවා සහ බාබුඩා හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව රුවන්ඩාව, ජැමෙයිකාව, උගන්ඩාව සහ මාලදිවයින යන රටවල නායකයන් හා නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී.
රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ (Paul Kagame) මහතා සමඟ පැවැති හමුවේදී විශේෂයෙන්ම ආර්ථික සහයෝගිතාව, වෙළඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව අවධානය යොමු විය.

දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පාර්ශ්ව දෙකම අවධාරණය කළහ.
එසේම අග්‍රාමාත්‍යවරිය ජැමෙයිකානු අග්‍රාමාත්‍ය ඇන්ඩෲ හොල්නස් (Andrew Holness) මහතා ද හමු වූ අතර, එහිදී ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර ජනතා සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි.
2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ‘Expo Sri Lanka’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ආචාර්ය අමරසූරිය මෙනෙවිය ජැමෙයිකාවට ආරාධනා කළාය.

මීට අමතරව 2028 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව විසින් පැවැත්වීමට නියමිත මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වන ලෙස ඇය ආරාධනා කර සිටියාය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය උගන්ඩාවේ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය නොබර්ට් මාඕ (Norbert Mao) මහතා සමඟ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය, වෙළඳාම, ආයෝජන සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූවාය.
මෙම ක්ෂේත්‍රයන්හි දැනුම හා පළපුරුද්ද හුවමාරු කර ගැනීමටත්, ඒකාබද්ධ වැඩසටහන් සහ ව්‍යාපෘති හඳුනා ගැනීමටත් දෙපාර්ශ්වය කරුණු විමසා බලන ලදී.
තවද ආචාර්ය අමරසූරිය මෙනෙවිය මාලදිවයිනේ උපජනාධිපති හුසේන් මොහොමඩ් ලතීෆ් (Hussain Mohamed Latheef) මහතා ද හමුවී දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව සාකච්ඡා කළාය.
මෙම හමුවීම් මගින් පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් සමඟ ශ්‍රී ලංකාවේ පවතින සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමටත්; ආර්ථික, අධ්‍යාපනික, කෘෂිකාර්මික හා සාමාජික ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවන් ගවේෂණය කිරීමටත් අවස්ථාව සැලසිණි.



