රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:
1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන අධික බලැති මෝටර් සයිකල් ක්‍රීඩා කටයුතු ඇතුළු විශේෂ අවශ්‍යතා සඳහා භාවිත කිරීමට අවසර දෙන්නේද යන්න පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම සඳහා කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටු වාර්තාව ලැබීමෙන් පසු අවසාන තීරණය ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
1000cc ට වැඩි මෝටර් සයිකල් සඳහා දැනට පවතින නීතිමය සීමා ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරන්නේද යන්න පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන්ම ධාවන පථ හෝ වෙනත් සුදුසු ස්ථානයන්හි භාවිතය සඳහා දැඩි නීතිරීතිවලට යටත්ව මෙවැනි අධික බලැති මෝටර් සයිකල් සඳහා අවසර දිය හැකිද යන්න මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් විමසා සිටියේය.
එසේම දැනට පොලිස් භාරයේ පවතින අධික බලැති මෝටර් සයිකල් කිහිපයක් පිළිබඳව සඳහන් කළ රත්නායක මහතා, ඒවා මුදාහැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකිද යන්න පිළිබඳවද ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ගුණසේන මහතා කියා සිටියේ කමිටු නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.


