සටහන – පුලී
නොවැම්බර් 06, LNW (කොළඹ): ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ හදවත් දිනාගත් සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 2026 නොවැම්බර් 5 වැනිදා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සංවේදී වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මේ සමඟින් වසර 23ක් පුරා දිවගිය ඔහුගේ අතිවිශිෂ්ට ජාත්‍යන්තර පාපන්දු ගමන අවසන් වන අතර, පෘතුගාලයේ අංක 7 ජර්සියට ද සමුදීමට ඔහු සූදානම් වේ. වයස අවුරුදු 41ක් වන රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නේ තරග 234කට සහභාගී වෙමින් ගෝල 146ක් රැස් කළ ලොව වාර්තාගත ක්‍රීඩකයෙකු ලෙසයි.
වසර 23ක ජාත්‍යන්තර ගමනක්… තරග 234ක්… ගෝල 146ක්!
2003 අගෝස්තු මාසයේදී කසකස්තානයට එරෙහිව සිය ජාත්‍යන්තර පාපන්දු දිවිය ආරම්භ කළ රොනාල්ඩෝ එදා සිට පෘතුගාල කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු බවට පත්විය. වසර ගණනාවක් පුරා ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් තරග රැසකදී පෘතුගාලයට ජයග්‍රහණ ලබාදීමට ඔහු සමත් විය.
ඔහුගේ ජාත්‍යන්තර වාර්තා අතර පිරිමි පාපන්දු ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව සහ වැඩිම ජාත්‍යන්තර තරග සහභාගීත්වය සුවිශේෂී ස්ථානයක් ගනී. එමෙන්ම ජාත්‍යන්තර තරගවලදී හැට්ට්‍රික් 10ක් වාර්තා කිරීමට ද ඔහු සමත්ව තිබේ.
පෘතුගාලයට ඉතිහාසගත ජයග්‍රහණ රැසක්!
රොනාල්ඩෝගේ ජාත්‍යන්තර පාපන්දු දිවියේ අමතක නොවනම සන්ධිස්ථානයක් වූයේ 2016 වසරේ ප්‍රංශයේ පැවති යුරෝපා පාපන්දු ශූරතාව දිනාගැනීමයි.
ප්‍රංශය සමඟ පැවති අවසන් මහා තරගයේදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවුවද, කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් සහකරීඩකයන් දිරිමත් කළ රොනාල්ඩෝ පෘතුගාලයේ ඓතිහාසික ජයග්‍රහණයේ වැදගත් කොටස්කරුවෙකු විය.
එම ජයග්‍රහණයට අමතරව 2019 සහ 2025 වසරවල UEFA Nations League ශූරතා දිනාගැනීමට ද ඔහු පෘතුගාලයට නායකත්වය ලබා දුන්නේය.
ලෝක කුසලාන ඉතිහාසයේත් අමතක නොවෙන වාර්තාවක්!
රොනාල්ඩෝගේ දස්කම් යුරෝපා තරගාවලිවලට පමණක් සීමා නොවීය. 2006 වසරේ සිට 2026 වසර දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි හයකට සහභාගී වූ ඔහු, එම ලෝක කුසලාන තරගාවලි හයම නියෝජනය කරමින් ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ද පත්විය.
2026 ලෝක කුසලාන තරගාවලියේදී ද ගෝල තුනක් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර, එම තරගාවලියේදී පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල 1-0ක පරාජයක් ලැබීමත් සමඟ තරගාවලියෙන් ඉවත් විය.
පුහුණුකරු ජෝර්ජ් ජේසුස් සමඟ මතභේදයත් සමුගැනීමට බලපෑවාද?
රොනාල්ඩෝගේ ජාත්‍යන්තර සමුගැනීම පිළිබඳ පුවතත් සමඟ පෘතුගාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෝර්ජ් ජේසුස් සමඟ ඇති වූ මතභේදය පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී කණ්ඩායමේ තේරීම් සහ ක්‍රීඩා සැලසුම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකින් පසුව රොනාල්ඩෝ කණ්ඩායමේ පුහුණු කඳවුරෙන් ඉවත්ව ගොස් තිබුණි. පසුව ඔහු ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබූ අතර, පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් ඔහුට දින 30ක තරග තහනමක් සහ දඩයක් ද පනවා තිබුණි.
කෙසේ වෙතත්, රොනාල්ඩෝගේ සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුහුණුකරු ජෝර්ජ් ජේසුස් පවසා ඇත්තේ ඔහුට ජාතික කණ්ඩායම තුළ තවදුරටත් රැඳී සිටින ලෙස තමන් ඉල්ලා සිටි නමුත් ඔහුගේ තීරණයට ගරු කරන බවයි.
“අංක 7 ජර්සිය මට පමණක් අයිති දෙයක් නොවේ”
සිය සමුගැනීමේ වීඩියෝ පණිවිඩය තුළ රොනාල්ඩෝ පෘතුගාල ජනතාවට සංවේදී පණිවිඩයක් ලබා දුන්නේය.
“අපේ ජාතික කණ්ඩායමේ අංක 7 ජර්සිය නැවත භාරදීමට මට කාලය පැමිණ තිබෙනවා. එය කිසිදා මට පමණක් අයිති දෙයක් ලෙස මා සිතුවේ නැහැ. නමුත් වසර 23ක් පුරා එය පැළඳීමට, එය ආරක්ෂා කිරීමට සහ ලොව පුරා ක්‍රීඩාංගණ වෙත රැගෙන යාමට මට වරප්‍රසාදය සහ වගකීම හිමිවුණා.”
එමෙන්ම තවත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ,
“ගෝල අමතක වී යාවි. කුසලාන කෞතුකාගාරවල තැන්පත් වේවි. වාර්තා දවසක වෙනත් අයෙකු විසින් බිඳ දමාවි. නමුත් මිනිසුන්ගේ හදවත් තුළ අපට හිමි ස්ථානය කාලයට කිසිදා මකා දැමිය නොහැකියි” යනුවෙනි.
තම පවුලේ සාමාජිකයන්ට, සහකරීඩකයන්ට, පුහුණුකරුවන්ට සහ වසර ගණනාවක් පුරා තමන්ට සහයෝගය ලබාදුන් පෘතුගාල පාපන්දු ලෝලීන්ට ද ඔහු සිය ස්තුතිය පළ කළේය.
රොනාල්ඩෝගේ පාපන්දු ගමන මෙතැනින් අවසන්ද?
ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්තද රොනාල්ඩෝගේ වෘත්තීය පාපන්දු දිවිය තවමත් අවසන් වී නොමැත. ඔහු සෞදි අරාබියේ Al Nassr කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම දිගටම සිදුකරනු ඇත.
මේ අතර පෘතුගාල පාපන්දු සම්මේලනය ද රොනාල්ඩෝ වෙනුවෙන් සුදුසු ගෞරව දැක්වීමේ අවස්ථාවක් සංවිධානය කිරීමට කැමැත්ත පළ කර තිබේ.
එමෙන්ම පෘතුගාල කණ්ඩායමේ නායකයා ලෙස ඔහු කළ සේවය සහ රට වෙනුවෙන් දැක්වූ කැපවීම වෙනුවෙන් පාපන්දු ලෝකයෙන් ද සුබ පැතුම් සහ උපහාර රැසක් පළවෙමින් තිබේ.
අදින් පසු පෘතුගාලයේ අංක 7 ජර්සිය වෙනත් ක්‍රීඩකයෙකුගේ උරහිස මත රැඳෙනු ඇත. එහෙත් එම අංකය ලොව පුරා පාපන්දු ලෝලීන්ට මතක් කරන්නේ එක් නමකි.
CRISTIANO RONALDO – THE LEGEND OF NUMBER 7!

