පක්ෂ දේශපාලනය ඉවත දමා ජනතාවගේ ආහාර ගැටලුව විසඳීමට කැපවෙමු – ජනපති

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පෙරවරුවේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

මේ වන විට ඉතා අසීරු කාලයක් පසු කරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතරතුරදී ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා කීය.
විකසිත ප්‍රජාවකින් හෙබි ඉසුරු පිරි දිස්ත්‍රික්කයක් බවට අම්පාර දිස්ත්‍රික්කය පරිවර්තනය කරමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට වී නිෂ්පාදනයෙන් 22% ක් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරන අතර ඉදිරි යල සහ මහ කන්නවල අස්වැන්න සාර්ථක කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සඳහා සහභාගීවී සිටි රාජ්‍ය නිලධාරීන් අතරට ගිය ජනාධිපතිවරයා ක්ෂේත්‍ර කටයුතුවලදී ඔවුන් හඳුනාගත් ගැටලු සහ දුෂ්කරතා පිළිබඳ ඝෘජුවම ඇහුම්කන් දීම ද විශේෂත්වයක් විය.

අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සහ ධීවර ගැටලු රැසක් පිළිබඳ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කෙරණු අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ද උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හාඩි ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් ගොවිපොළ පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...