සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: නීතිවිරෝධී ලෙස යුරෝපයට පැමිණීමෙන් පසු රැඳී සිටීමට නීත්‍යානුකූල අවසර නොලැබූ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ අරමුණින් යුරෝපා සංගමයේ රටවල් පහක් එක්ව රුවන්ඩාවේ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
ජර්මනිය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ග්‍රීසිය සහ නෙදර්ලන්තය මෙම වැඩපිළිවෙළට එක්ව සිටින අතර, 2027 වසරේදී එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
වියානා නුවර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම සැලැස්ම ප්‍රකාශයට පත්කර ඇති අතර, මුල් අදියරේදී පුද්ගලයන් 100කට පමණ පහසුකම් සැලසිය හැකි මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා වී තිබේ. යුරෝපා රටවල සරණාගතභාවය ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වී, රට තුළ රැඳී සිටීමට ඇති සියලු නීතිමය අවස්ථා අවසන් වූ පුද්ගලයන් මෙම වැඩපිළිවෙළ යටතේ රුවන්ඩාවට යොමු කිරීමට නියමිතය.
රුවන්ඩාවට යොමු කෙරෙන පුද්ගලයන්ට එරට සමාජයට එක්ව ජීවත්වීමට හා රැකියා කිරීමට හෝ තම මව් රටට ස්වේච්ඡාවෙන් ආපසු යාමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව සඳහන් වේ. නීතිවිරෝධී සංක්‍රමණය පාලනය කිරීම සහ මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් අඩු කිරීම මෙම තීරණය පිටුපස ඇති ප්‍රධාන අරමුණු ලෙස යුරෝපා රටවල් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධයක් පළ කර තිබේ. රුවන්ඩාවේ මානව හිමිකම් තත්ත්වය, දේශපාලන නිදහස සීමා කිරීම සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් පිළිබඳ චෝදනා සැලකිල්ලට ගනිමින්, එරටට යොමු කෙරෙන සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු මතුවිය හැකි බව එම සංවිධාන පෙන්වා දෙයි.
මීට පෙර බ්‍රිතාන්‍යය ද සරණාගතයන් රුවන්ඩාවට යැවීමේ සමාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසරේදී එම සැලැස්ම නීතිවිරෝධී බවට තීන්දු කිරීමෙන් පසු එය අත්හැර දැමීමට සිදුවිය.

