රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW:
අයවැයෙන් අනතුරුව විවිධ රාජ්‍ය අංශවල වෘත්තීය සමිති මඟින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.
පවතින සීමාවන් නිසා සියලු ගැටලු එකවර විසඳිය නොහැකි වුවද, කළ හැකි සියලු දේ හැකි ඉක්මනින් ඉටු කිරීමට පරිපාලනය අපේක්ෂා කරයි.
මීට අමතරව, 2027 ජනවාරි වන විට සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ නංවන අතර, අදාළ දීමනා කිහිපයක්ම කල් තබා ලබා දීමට පියවර ගෙන තිබේ. මෙම වැටුප් වැඩිවීම් සහ දීමනා හරහා පුනරාවර්ථන වියදම් පාලනය කරගනිමින් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම රජයේ අරමුණ වී ඇත.
එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ,
“වෘත්තිය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් රජය සාවධානව අවධානය යොමු කරනවා. අපි ඒවාට ඇහුම්කන් දෙනවා. කරන්න පුළුනන් දේවල් හැකි ඉක්මනින් කරනවා. හැබැයි මේ කිසිම උද්ගෝෂණයක්, වැඩවර්ජනයක් නොතිබුණු කාලයක 2025 පෙබරවාරි මාසයේදී ආණ්ඩුව හැටියට තීරණය කරලා ඉතා ඉහළ වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒ අනුව 2027 ජනවාරි මාසයේදී ගෙදර ගෙන යන වැටුප හැමකෙනාගෙම වැඩිවෙලා තියෙන්නේ. ඒක කාලයකට පස්සේ ලැබුණ ඉහළම වැටුප් ප්‍රමාණයක්. 2027 ලැබීමට නියමිත වැටුපට අදාළ අතිකාල, නිවාඩු දින දීමනා, අමතර රාජකාරී ඇතුළු දීමනාත් 2025 අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්න අපි කටයුතු කළා… 2027 ජනවාරි මාසයේත් මූලික වැටුප් වැඩිවීමක් ලබා දෙන නිසා ඕනේ නම් මේ කිසිවක් නොදී ඊළඟට අවුරුද්දකට කල් දාන්න තිබුණා. නමුත් අපි කල්පනා කළා ක්ෂේත්‍ර ගණනාවක ප්‍රශ්න තිබෙනවා ප්‍රශ්න ඔක්කොම විසඳන්න බෑ. ඒ නිසා මේ මොහොතෙදි යම් ක්ෂේත්‍ර කිහිපයකට දීමනා ලබා දීලා තියෙන්නේ. ඒ දීමනා සමහර ඒවා ලබා දීලා තියෙන්නෙත් ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න නෙමෙයි ජුලි මාසයේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න. දීමනා කොටසක් තමයි මේ අවුරුද්දේ ලැබෙන්නේ. මේ සියලු දීමනා, පඩිවැඩිවීම්, වරප්‍රසාද වැඩිවීම් එක්ක අපි බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 2000ක ප්‍රාග්දන වියදම වියදම් කිරීමත් එක්ක අපිට පුළුවන් ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගන්න. මේකත් එක්ක අපිට පුළුවන් පුනරාවර්ථන වියදම් 9% සීමාව එලෙසම පවත්වාගනිමින් හෝ ඊට අඩුවුණත් අපිට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වෙන සීමාව වැඩි වෙනවා. ඒක තමයි රජයේ ඉලක්කය. ඒ නිසා තවත් දීමනා ලබා දෙන්නට හැකි නම් අපි ලබා දෙනවා. ඔක්කෝටම එක සැරේ දෙන්න බෑ.” යනුවෙනි.

